දැනෙන ආදරයකින් ජීවිත පුබුදුවමු

පුංචි පුංචි වෙනස්කම් දැනෙන කොට රණ්ඩු වෙන, ඇස්වල කඳුළු පුරවගෙන අඬන ගැහැනු ඔබ දැකලා ඇති. නැත්නම් ඔබත් එහෙම ගැහැනියක් වෙන්න ඇති.

පුංචි කාලෙ ඉඳන් අම්මගේ තාත්තගේ ආදරේ වෙනුවෙන් තමන්ගෙම සහෝදර සහෝදරියෝ එක්ක රණ්ඩු වුණ ළමා කාලයක් අපි හැමෝටම තියෙනවා. මම හිතනවා, ගැහැනු ළමයි වැඩිපුර ආදරේ හොයනවා.

මව්පියන්ගේ සෙවණෙන් මිදිලා තමන්ගේ සහකරුගේ සෙවණට යන ගැහැනිය සොයන්නෙත් ආදරේ. ආදරේ අඩු වෙන තැන, නොදැනෙන තැන රණ්ඩු වෙන්නෙ, අඬන්නේ ඒ ආදරේ ගැහැනුන්ට මහමෙරක් නිසා.

තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි හැමෝගෙම අත්වලට ජංගම දුරකතනයක් එද්දි, මුහුණු පොතේ එහා මෙහා යන්න අපිට වෙලාව තිබුණට තමන්ගෙම ආදරණීයයන් ගැන හොයලා බලන්න, ළඟින් ඉන්න, කතා කරන්න ගොඩක් අයට අමතක වෙනවා.

මුහුණු පොත සුන්දරයි. හැබැයි…ඔබේ ආදරණීයයන් තරම් නම් නෙමෙයි.

පුංචිම පුංචි දේකින් හරි “එයා මට ආදරෙයි” කියලා දැනෙද්දි, ඒ දැනෙන සතුට ජීවිත කාලෙ පුරාවටම ගැහැනු හිත් සරසනවා. ඒ මුවගට සිනහවක් ගේනවා.

ආත්ම ශක්තියෙන්, දරාගැනීමෙන් හිණි පෙත්තටම යන්න පුළුවන් ගැහැනිය හැම මොහොතකම හිත යටින් ආදරය හොයනවා. ආදරය බලාපොරොත්තු වෙනවා.

ඉතින්…

ඔබේ අම්මට, බිරිඳට, පෙම්වතියට, සහෝදරියට, දුවට, යෙහෙළියට දැනෙන්න ආදරේ කරන්න…

හැමදාමත් ඒ හිත්වල මල් පිපේවි.

නදීරා ප්‍රශංසනී
ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

 

Facebook
Facebook