අලුත් ආරම්භයකට සැරසෙමු

2022 අවුරුද්ද හරිම වේගයෙන් ගලා ගිහින් අවුරුද්දේ අවසානයට අපි ඇවිත් ඉන්නේ. නත්තලේ උණුසුම එක්ක අපි ඉන්නේ 2023 නව වසර පිළිගන්න බලාගෙන. මේ ගත වුණ අවුරුද්ද අවසානයේ ඔයාල වැඩිය නොහිතන ඒත් ගොඩක් වැදගත් දෙයක් තමයි වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනෙන් ඔයාලට කියන්න යන්නේ. බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රශංසනී මහත්මිය තමයි මෙවර වැඩසටහනට එක් වුණේ.

“දෙසැම්බර් කියන්නේ හරිම ආදරණීය මාසයක්. හැබැයි, මේ අවුරුද්දේ අවසානය. අපේ ජීවිතවල බොහෝ දේවල් සමහර වෙලාවට වෙනස් වෙන්න ඇති මේ අවුරුද්ද පුරාවටම. ඊට වඩා… සමහර දේවල් මීට වඩා හොඳට මට කරන්න තිබුණා, එහෙම නැත්නම් මෙහෙම වුණේ නැත්නම් හොඳයි කියලා ඔබට හිතෙන්න ඇති. ඒ හැම දෙයක්ම හදාගන්න පුළුවන් හොඳ ආරම්භයක් ඔබට ලැබෙනවා.

ඉතින්, මට හිතුණා මේ වර්ෂය අවසානයේදී පුංචි දෙයක් ඔබට කියන්න. අපි මොන තරම් දේවල් කළත් සමහර වෙලාවට අපේ ළඟින්ම ඉන්න ආදරණීයයන් අපට අමතක වෙනවා. සමහර වෙලාවට අපි අපේ අම්මාගෙන් අහන්නේ නැහැ අම්මේ ඔයාට මහන්සි ද කියලා. තවත් සමහර වෙලාවට බිරිඳ, සැමියා කොයි තරම් මහන්සි වෙනවා ද කියලා අපිට තේරෙන්නේ නෑ. ඉතින්, අපිට පුළුවන් නම් පුංචිම පුංචි වචනයකින් ඒ අයට උදව් කරන්න, පුංචි වැඩකින් ඒ අයට උදව් කරන්න ඒක වටිනවා.

අපි හැමෝම එක පවුලක්. අපි අනිත් හැම දෙයක් ගැනම හිතනවා වගේ අපේ ළඟම ඉන්න ආදරණීයයන් ගැන හිතන්න අපිට පුළුවන් නම් හැමදාම සුන්දර දවසක් විදියට අපේ ජීවිතේ මතක තියේවි. ඒ හින්දා මේ ලස්සන නත්තල අපි ආදරෙන් සමරනවා වගේම ආදරණීය නත්තලක් කර ගන්න අපිට පුළුවන්. ඒ වගේම මේ උදා වෙන අලුත් අවුරුද්ද ආදරණීය විදියට පිළිගන්න, අපේ ආදරණීයයන් එක්ක හරිම සතුටින් ගත කරන්න අපිට පුළුවන් වෙයි.”