සහෝදර ප්‍රේමයට කුමට තව උපමා

මහ රෑට දිලුනත් අහසේ තරු බොහොම
කැකුළු මල් තැළෙනවා මඟ තොටේ තවම
හමුවුණත් දෙමව්පියෝ නමට ඒ නරුම
දරුවන්ට වෙනවා ගෙවන්නට කරුම…

එකම එක බඩවැලක එතීගෙන ආ නිසා
සහෝදර කැක්කුමට මොනවටද උපමා
මල්ලීගේ අඬන ඇස් හැම රෑම පිසදා
ඔහුව මං බදාගෙන සිය වරක් ඉම්ඹා…

අම්මෙක් නැති අඩුව මෙහෙමයි කියන්න
තාත්තෙක් නැති අඩුව බෑ නමෙන් වහන්න
මිනිසුන්ට පුළුවන් කතා කවි කරන්න
ඒ අයට පුළුවන් ද අපේ හිත හදන්න…

ළමා නිවාස , පරිවාස අකමැතිම වචන
ඊට වැඩියෙන් බයයි අමාවක දාට
දරුවන්ව බිහි කරලා මහ මඟට දාන
අම්මලා අප්පලා තව එපා ලොවට…

වැස්සොතින් මේ පොළොව සේදී ගලන්න
එකම එක හුස්මකින් හැමදේම මකන්න
ආයේමත් මල්ලිගේ කඳුළු මට දකින්න
බෑ ඊට කලින් අපි දෙව් ලොවට අරගන්න…

නිෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook