කතා කරන එකට, කතා කරන දේ අහන් ඉන්න එකට අපි වටිනාකමක් දෙන්න ඕනම ද?
මිනිස්සු විදියට අපි කාර්යබහුලයි. ඒත් ඒ තරමට පැය 24 ම කාර්යබහුල ද? ජීවිතේ බොහෝ අවස්ථාවලදි අපිට ආදරය කරන අපි ආදරේ කරන අය කොයිතරම් නම් මඟ හැරෙනව ද?
ඒ කාර්යබහුල නිසාම ද? නැත්නම් ඒ තරම් සැලකිල්ලක් නොදක්වන නිසා ද?
අපිට මුහුණු පොතේ සැරිසරන්න, රූපවාහිනිය නරඹන්න, ඇතැම් වෙලාවට ඕපාදූප කියවන්න වුණත් වෙලාවක් නැතුවාම නොවෙයි.
හැබැයි අපේ අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමියා, දරුවෝ, මිත්‍රයෙකු, නෑදෑයෙකු වුණත් ඔහුට හෝ ඇයට ජීවිතේ දැනෙන විදිය, ඔවුන්ගේ බලාපොරොත්තු ඒ විතරක් නෙවෙයි හිත රිදීමක් වුණත් ඒ දැනෙන හැඟීම් කතා කරන්න අවස්ථාවක් තියනවා නම් ඒ කෙනාගේ හිත කොච්චර නම් සැහැල්ලු වෙයි ද…
ඒ දේවල් අහන්න කියන්න හොඳ සවන් දෙන්නන් නොමැති වුණොත් ඒ දැනෙන හැඟිම් හුඟක් වෙලාවට හිත ඇතුළේ හිර කරගෙන ඉදීවී.
අන්න ඒ නිසා තමයි අපි හිතාගන්න බැරි තරමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ…
දැනෙන හැඟිම විවෘතව කතා නොකරන නිසා තමයි ආදරේ කරන අය පවා ඇතැම් වෙලාවට අපෙන් දුරස් වෙන්නේ.
තවත් කෙනෙක් ගැන වැරදි වැටහීමක් වුණත් ඇති වෙන්නේ වැරදි විනිශ්චයන් වුණත් දෙන්නේ…
ඒ හේතුව නිසාම ඔයා මොන තරම් කාර්යබහුල වුණත් ඔයාගේ වචනෙකින් පවා සැනසීමක් ලබන අය ඉන්නවා කියන එක මතක තියා ගන්න…ඒ නිසාම දවසකට පැයක් හෝ ඔවුන් වෙනුවෙන් වෙන් කරන්න. ඒ වෙලාවෙන් තව තවත් ආදරේ ශක්තිමත් කරාවි.
ඒ කෙනාට ආදරෙන් හදවත පුරවගන්න ඒක හේතුවක් වෙයි.
ඒ සොඳුරු කතාබහට ඉඩක් වෙන් කරන්න අමතක කරන්න එපා.
රොෂාණි බණ්ඩාර
මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය