2023ට පරිස්සමෙන් පය තබමු

අපි ඉපදුණ දවසේ ඉඳලා මේ වෙනකම් අපේ ජීවිත ගමනෙදි අපි පාරවල් ගණනාවක ගිහින් තියෙනවා. ඔයාටම හිතලා බැලුවොත් තේරුම් යයි හරි පාරවල්වල වගේම සමහර වෙලාවට අපි වැරදි පාරවල්වලත් ගිහින් තියෙන බව. ජීවිතේ අපි පාඩම් ඉගෙනගෙන හරිම පාරට එන්නෙත්, වැරදි පාරක යන බව ඉව වැටුණ ගමන් පාර වෙනස් කරන්න හිතන්නෙත් ඒ ලැබෙන අත්දැකීම් නිසා. පිබිදුණු දිවියක් වැඩසටහනෙන් බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රශංසනී මහත්මිය කියන්නේ පරිස්සමෙන් මේ අවුරුද්දේ අපේ ගමන යන්න ඕන විදිය ගැනයි.

“අලුත් අවුරුද්දක, අලුත් මාසෙක අපිට අලුත් විදියට ජීවිතේ දකින්න පුළුවන් නම් ඒක කොයි තරම් හොඳ ද? ඔබට ඔබව කොයි තරම් විශ්වාස ද? අපි හැම වෙලාවෙම අපිට තියෙන හැකියාවන්, දක්ෂතාවන් විශ්වාස කරනවා ද? මං හිතනවා අපිට පුළුවන් නම් අපිට තියෙන දක්ෂතාවන්, අපිට තියෙන හැකියාවන් විශ්වාස කරන්න ගොඩක් වෙලාවට අපිට බෑ කියලා හිතෙන දේවල් කරන්න අපිට පුළුවන් වෙයි කියලා.

ඒ වගේම තමයි අපිට පුළුවන් නම් සමහර අයව, සමහර දේවල් විශ්වාස කරන කොට ටිකක් පරිස්සමෙන් විශ්වාස කරන්න, තව කෙනෙක් අපි ගැන තියන විශ්වාසය පරිස්සම් කරන්න මං හිතන්නේ හිත් රිදීම්, කලකිරීම් මේ වගේ දේවල් අපේ ජීවිතෙන් වියැකිලා යයි.

අලුත් අවුරුද්දක, අලුත් මාසෙක අපිට පුළුවන් නම් අලුත් කෝණෙකින් ජීවිතේ දිහා බලන්න ජීවිතේ ගොඩක් වෙලාවට අපිට ඈතයි කියලා හිතෙන දේවල් අපිට ළං කර ගන්නත්, හිත් රිදීම් අඩු කර ගන්නත් පුළුවන්.

මෙහෙම කියනකොට මට මතක් වෙනවා දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරන ‘නංගියේ මොකද’ කියන ගීතයේ අපූරු පද කොටසක්. ඒ ගීතයේ කියනවා මෙහෙම,

මඟ හොඳට තිබේ නම්
දෑසත් හොඳට පෙනේ නම්
නුඹ පරිස්සමෙන් පය තියපං
බැදිවල නොගිහින්

ජීවිතේ පරාද වීම්, බාධක මේ හැමදේම එන්න පුළුවන්. හැබැයි අපිට තියෙනවා හරි අපූරු පාරක්. ඒ පාර නුවණින් හොයාගන්න.”