බිතුසිතුවමින් අලංකෘත දඹුල්ල රජමහා විහාරය

දඹුල්ල රජමහා විහාරය 1991 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. දඹුලු විහාරය, රන්ගිරි දඹුලු රජමහා විහාරය, දඹුලු ගල, රන් පර්වත විහාරය ලෙස විවිධ නම්වලින් දඹුල්ල රජමහා විහාරය හඳුන්වනවා. ගුහා ගණනාවකින් සමන්විත විශාල පර්වතයක දඹුලු විහාරය ඉදිකර තිබෙනවා. පෞරාණික ලෙන් විහාර සහ බිතුසිතුවම් හේතුවෙන් මෙම විහාරය වඩාත් ප්‍රසිද්ධ වී තිබෙනවා වගේම දකුණු හා අග්නිදිග ආසියාවේ තිබෙන විශාලම ලෙන් විහාර අතරින් එකක් ලෙස ද දඹුලු විහාරය සැලකෙනවා.

මෙහි ලෙන් විහාර වළගම්බා රජු විසින් ප්‍රථමයෙන් කරවා ඇතැයි සැලකෙනවා. කලින් කල ප්‍රතිසංස්කරණයට ලක් කළ දඹුලු විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී අවසන්වරට ප්‍රතිසංස්කරණය කරන ලදැයි සැලකෙනවා. නිශ්ශංකමල්ල රජු විසින් විහාරයේ ඇති පිළිමවල රන් ආලේප කළ බවත් ඒ හේතුවෙන් දඹුලු විහාරය ස්වර්ණගිරි ගුහා ලෙස හැඳින්වූ බවත් සෙල් ලිපිවල සඳහන් වෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දඹුලු විහාරය දේවරාජ විහාරය, මහාරාජ විහාරය, මහා අලුත් විහාරය, පශ්චිම විහාරය සහ දෙවන අලුත් විහාරය ලෙස ලෙන් විහාර පහකින් සමන්විතයි.

සත් සතිය ඇතුළුව බුදුන් වහන්සේගේ ජීවිත කතාවේ විවිධ අවස්ථා නිරූපණය කෙරෙන සිතුවම්, මාර දූවරුන් දැක්වෙන සිතුවමක් ඇතුළු දර්ශනීය බිතුසිතුවම් දඹුලු විහාරයේ තිබෙනවා. බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ත්ව ප්‍රතිමා ඇතුළු ප්‍රතිමා 150කට අධික සංඛ්‍යාවක් ද දඹුලු විහාරයේ තිබෙන අතර මෙම ප්‍රතිමා හා සිතුවම් තුළින් ලාංකීය උරුමය විදහා දැක්වෙනවා.

 

Facebook
Facebook