හුස්ම යදිනා සවන් පත් ළඟ
දෑස තෙමුණේ නුඹේ විතර ද
හීන අරගෙන අහස් ගව්වක
පියැඹුවේ ඇයි ඈත එපිටක…
දරාගෙන මම ඉන්න හවසක
කොහේදෝ යන බකුසු හඬකට
ගැස්සී ඇහැරුණු හීන මැදුරක
නුඹත් හිටියා හිනාවීගෙන…
ඈත දුර ගිය මතක අහුරක
නීති දාගෙන රැක්ක පණ ටික
සුදු පිච්ච මල්මාල හැඩ කොට
මැද සාලේ නුඹ ඇයි ද නිසසල…
නුහුරු නුපුරුදු වෙඩි හඬක රාවය
අදත් ගැස්සෙන පුංචි සද්දය
තුරුලු කරගෙන පපුව මැද්දට
ආයේ කියපන් බය නොවෙන් පණ…
එන්නේ නෑමයි දනී මගේ හිත
හුස්ම අයදී යන්න නුඹ වෙත
මහන්සී මට නුඹත් නැතිවම
පුතා නැත්තම් මාත් නුඹ ළඟ…
කිරි සුවඳ නෑ පුතා ළඟ අද
නුඹේ සුවඳයි එන්නේ ඔහු ළඟ
යකඩ පපුවක හුරුව යන්තම
ඔහුට තියෙනව නුඹට වාගෙම…
ආයේ භවයක නුඹේ වෙන්නට
පතා ඉන්නම් මේ ටිකේ මම
ආවොතින් මං නුඹේ ගාවට
ආයේ කියපන් මං නුඹේ පණ…
සුරංජි ඩී මාපා
බ්රැන්ඩික්ස් මීරිගම ආයතනය