මඩමේ දරුවෙක්

මගේ පුතේ නැගිටින්න එපා තව නිදියන්න
අමතන්න කෙනෙක් නෑ සිහිනෙකින්වත් දන්න
මේට්‍රන්ගේ සීනු හඬ එක හඬට වදිනකොට
නැගිටින්නේ බයටමයි බැරිව දොස් අහගන්න
 
හැමදේම වෙලාවට අපේ වැඩ අපි තනිව
නැතිවුණොත් මේට්‍රන් කියයි කන් පිරෙන්නට
ආදරෙන් ඇගේ මුවෙන් වචනයක් පනින්නට
නෑ ඒත් ඇගේ හිතේ සෙනෙහසක් පෙනෙන්නට
 
මගේ අතින් අල්ලගෙන පාසලට ගෙනියන්න
ආදරෙන් මගේ නළල සිඹ මාව සනසන්න
නිදියද්දි ළඟට වී කතන්දර පවසන්න
මව්පියන් නෑ මගේ තනිය මගේ දුරුවෙන්න
 
තට්ටු ඇඳකට වෙලා නිදන විට අම්මේ මම
නුඹේ තුරුළේ උණුසුමයි මැව්වෙ හැම සිහිනෙකම
හැමදාම දකින ඒ සිහිනයම හැබෑවෙන
එන්නැද්ද ඒ දවස ඉන්න බෑ බලාගෙන
 
මව්පියන් එනවා තව දරුදුකක් දරාගෙන
මඩමේ ඇති මල් කැකුළු නෙළාගෙන පුබුදන්න
ඒත් මට පින් මදියි අම්මේ නුඹ දැකගන්න
කමක් නෑ හීනෙකින් හරි මගේ ළඟ ඉන්න
 
අම්මේ නුඹ උණුහුමේ  ගුලිවෙලා ළඟ ඉන්න
තත්තගේ ඔඩොක්කුවේ සිඟිති බස් පවසන්න
ඔබේ දෑත් අල්ලගෙන මාවතේ ඇවිදින්න
මමත් ආසයි අම්මේ ඇවිත් මා ගෙනියන්න
 
පවිත්‍රා දුලාංජලී – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *