පොඩි දූ...

පොඩි දූ

සමාවී මට දෙන්න අවසර
මහත්තයෝ බුදු වෙන්න පිං ගෙන
කොතන හරි වරදක් වෙලා ඇති
හිතෙන්නෙම මට ඒ වගේ…

සුවඳ පවුඩර් මූණේ ලා ගෙන
තාත්තේ මං යනව කී විට
මොකද්දෝ ලොකු බයක් දැනුණා
කිවුවේ නෑ මං ඒ වෙලේ..

තිබුණ හුරතල් කෙළි කවට කම්
ටිකෙන් ටික ඈතට ගිහින් බව
මටත් දැණුණා බොහෝ විටදී
ඒත් නෑ මං පැවසුවේ..

එදා ඒ ගියේ අත වනාගෙන
දැක්කේ අන්තිම  තත්පරේ
දෙතුන් දොහකින් ආවෙනම් නෑ
ඒකමයි මං බය වුණේ…

කන්න බත් පත අතට ගත්තත්
බිව්වේ කදුළුයි හැම වෙලේ
එදා දූ ගිය මොහොතේ ඉදලම
තවම මං නම් හාමතේ..

ලෝකේ පෙරලන් දූ හොයද්දී
ආවේ පණිවුඩයක් කොලේ
පොලෝසියේ ලොකු මහත්තයාගෙන්
ආවේ ඒකයි මේ රැයේ…

තවත්නම් උහුලන්න බෑ මට
හුස්ම හිරවෙයි මගේ දුවේ
අම්මා ගිය අඩි පාරේ යන්නද
ලෑලි කාමරේ තනි වුණේ..

කාසි කොළ නම් ගොඩක් හෙවුවත්
වැඩක් නෑ මගේ පොඩි දුවේ
පිරිමි සුවඳේ ගිලුණු විට උඹ
උඹේ තාත්තා මිය ගියේ…

 

කෞශල්‍යා සංදීපනී – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook