යන්න කලියෙන් පුතේ උඹ දන්නෙ නැති තාලේ
කතාවක් තියෙනවා ගැන උඹේ පොඩි කාලේ
අහන්නට වෙලාවක් උඹට නැති වුන වෙලේ
කියවපං මගෙ වචන අකුරු ඇද ඇති කොලේ…
සරු උනේ නැතත් අපෙ මිල මුදල් අතමිටට
සතුට උතුරා ගියා මුලු ගෙදර පුරාවට
වාහෙටත් නැති රුදාවක් තිබුනෙ නෑයින්ට
එකම අඩුවයි තිබුනෙ වඳ ගෑනි මං ගමට
මහපාරෙ විසිකරපු ගෝනියක දඟලාපු
උඹ දැක්ක මගෙ පපුව ආදරෙන් උතුරාපු
කිරි නොවුන තන පුරුව උඹෙ කටට ලං කරපු
උරද්දී ලේ ටිකත් කිරි උනා නැතිව අඩු
පස් වසට ලොකු වෙලා හැඩවෙද්දි රුව උඹේ
කවුරු කවුරුත් දැකපු වපරයකි උඹෙ ඇහේ
ලොකු උනොත් කණ වේවි එක එකා කිවු වෙලේ
මගෙ ඇහැක් උඹෙ ඇහැට බද්ධ කලෙ රෝහලේ
තේරෙද්දි ටිකෙන් ටික උඹ ඉලන්දාරියා
උඹ මාව මගෑරියෙ එක ඇහැක් කණ නිසා
පොඩි ගෙපැලෙ උඹට ඉඩ කඩත් මදි වූ නිසා
නුඹ ගියේ දුර ඈත මාව තනිකර දමා
උඹ ආයෙ ආවොතින් නුදුරේදි ලඟපාත
එකවරක් ඇවිත් පලයන් මහළු නිවාසෙට
ලොකු නෝනා ලඟ ඇත්තෙ ලියු ලිපිය අන්තිමට
උඹෙ නමට ලියා ඇති වරිච්චියෙ බිං කොටස…
උමේෂා පතිරණ – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය