ඔව් මට පුළුවන්

ඔව් මට පුළුවන්

“පුතේ… නගින්න එපා… ඔයාට බෑ… ඕකට නගින්න…”
“දුවේ… ඔයාට ඕක කරන්න බෑ… ඕවා කරන්නේ ලොකු අය” මෙන්න මේ විදිහට කියන කතා මට නම් හොඳට අහලා පුරුදුයි.
මට හිතෙන්නේ ඔයාටත් එහෙමයි. අපේ පුංචි කාලේ අපි වැඩියෙන්ම ඇහුවේ ඔය වගේ කතානේ… අද අපේ දරුවන්ටත් අපි කියන්නේ ඒ විදිහටමයි. වසර ගණනාවක් ගෙවුනත් අපි හිතන විදිහේ වෙනසක් වෙලා නෑ නේද? පොඩ්ඩක් හිතන්න…
පුංචි කාලේ ඉදලම අපි අපට කරන්න පුළුවන් දේවල් ගැන කතා කරලා නෑ නේද? දැන් අපි අපේ දරුවන්ටත් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන්නේ ඉතා සීමිතව නේද? ඉතින් එහෙනම් අපි අද ඉදල වෙනස් වෙලා බලමු.
මම ඔයාලට ලස්සන කතාවක් කියන්නම්කෝ… පුංචි අලි පැටියෙක්ව බලා ගත් ඇත්ගොව්වෙක් ඒ අලි පැංචාව පුංචි දම්වැලකින් ගැට ගහලා තමයි තියල තියෙන්නේ. දවසක් දෙකක් මේ ඇත්ගොව්වා දැක්කලු අලි පැටිය මේ දම්වැල කඩන්න හදනවා. ඇත්ගොව්වා කිව්වලු “ඔයාට නම් අලි පැංචෝ කවදාවත් මේ දම්වැල කඩාගන්න නම් වෙන්නේ නෑ” කියලා. අලි පැංචා හැමදාම මේ දම්වැල කඩාගන්න උත්සාහ කරන හැම දවසකම මේ ඇත්ගොව්වා මේ විදිහට කියල තියෙනවා. කාලයත් එක්ක අලි පැංචා ලොකු උනා. ඒත් තාමත් බැඳල තියෙන්නේ අර පුංචි දම්වැලෙන්ම තමයි. ඒ උනාට කවදාවත් මේ අලියා දම්වැල නම් කඩන්න හැදුවේ නෑ. මොකද එයාගේ ඔලුවේ තිබ්බේ පුංචි කාලේ දම්වැල කඩන්න හදනකොට ඇත්ගොව්වා කියපු කතාව. කවදාවත් ඔයාට ඔය දම්වැල කඩාගන්න බෑ… කියන වචනය. එයාගේ ඔලුවේ වැඩ කරපු නිසා එය හැමදාම හිතුවේ මේක කඩන්න බැරි දම්වැලක් කියලා.

ඔන්න ඔහොම තමයි අපටත් වෙන්නේ. කරන්න බැරි දේවල් තියෙන්නේ ඉතා සීමිතව. නමුත් කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ උනාට අපි හිතන්නේ කරන්න පුළුවන් දේවල් සීමිතයි කියලා. බැරි දේවල් බොහොමයි කියලා.
අපට එන ප්‍රශ්නත් එක්ක අපි ලේසියෙන්ම දෙන්න පුළුවන් උත්තරයක් අපිම හදාගන්නවා. එක තමයි “අපට ඕක කරන්න බැනේ” කියලා. එක වතාවක් හරි පුංචි උත්සාහයක් යෙදුවොත් කරන්න පුළුවන් කුමක් හෝ ක්‍රමයක් අපටම තේරුම් යනවා. සමහරවිට ඒක අපටම ආවේණික වුන දෙයක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඔයා සුවිශේෂී කෙනෙක් වෙනවා. කැපිල පේන්න පටන් ගන්නවා. ඕනෑම ගැටලුවක් දිහා හැම පැත්තකින්ම හිතන්න පටන් ගන්න. අන්න එතකොට “මට පුළුවන්” කියන දේ අපටම දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම තමයි අපේ ජයග්‍රහණයේ පළමු පියවර. උත්සහවන්තයා ජය ගනී කිව්වේ කට කහනවට නෙමෙයිනේ. ඉතින් බැරි ගොඩක් දේවල් පුළුවන් කියලා හිතල බලමුද?
වෙනසක් වේවි… ඔබේ ජීවිතයත්…

බුද්ධිකා කාරියවසම්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *