මේරි

මේරි

පොතත් කියවන්න. ඒ වගේම මටත් ආදරය කරන්න.

මේරි යනු පුස්තකාලයේ කාගෙත් සුන්දරියයි. ඒ ඇගේ නොමනා ක්‍රියාකලාපයක් නිසා නොව, ඇය කවර තරාතිරමක අයෙකුට වුවද සංග්‍රහ කරන ඇගේ පිරිසිදු සිනහව නිසාවෙනි. විටෙක ඇය,

ගුඩ් මෝර්නිං සුදේශ් අයියෙ. අද ශර්ට් එක ලස්සනයි! මට නම් පේන්නෙ අද පොත් කියවන ගමන් කාගෙ හරි හිතකුත් කියවන්නම තමා ඇවිල්ලා ඉන්නෙ.පවසා සිනාසෙයි.

තවත් විටෙක ඇය,

මැතිව් අයියා ඉතින් රුසියන් කබඩ් එක බදාගත්ත ගමන්මනෙ ඉන්නෙ. රැවුලක් කොන්ඩයක් කපාගන්න වෙලාවක් නෑ. මට බය මේ කියවන කියවිල්ලට මැතිව් ලෙනින් කියලා නම වෙනස් කරගන්නත් බැරි නෑ.යනුවෙන් උසුළු විසුළු කරයි.

හැමදාම වගේ,

ඉවෝන් අක්කා අද මොනවද දන්නෑ උදේට ගෙනල්ලා තියෙන්නෙ. ඊයෙ ගෙනාපු මුං කිරිබත් එකනම් මාරම රසයි. බොරු කියන්න ඕනෙනෑ ඉවෝන් අක්කා ගේන කෑම එකෙන් පොඩ්ඩක්වත් නොකෑවොත් මට දවසටම නොකෑවා වගෙයි දැනෙන්නෙ.

ඇගේ කෙළිලොල් බවත් කටකාර අහිංසක බවත් කාටත් හිත් නිවාලන්නක් විය.

කොළඹ පන්නයට උරුමකම් කී ඇය කොටට වුවද දිගට වුවද හැඩවන්නේ ඈ සතු මහලොකු ලස්සනක් නිසා නොව, මී පැණි පැහැති සමේ පැහැයත් කලවා දක්වා කඩාහැලෙන රැළි රැළි කොණ්ඩයත් නිසාවෙනි. සැබැවින්ම ඇය අමුතු ලස්සන එකියකි. මා සිත ගත්තේද ඒ අමුත්තටය.

අපේ තාත්තා මටත් වඩා ආදරේ මගෙ කොණ්‌ඩෙට. අපෙ අම්මගෙත් කොණ්ඩෙ දිගයි. එක සැරයක් මම දිග වැඩියි කියලා සැලුන් එකට ගිහින් අග්ගිස්සෙන් ටිකක් කැපුවා. කපලා ගෙදර ගියා ගියාමයි සතියක් විතර යනකන් තාත්තා මං එක්ක වචනයක් කතා කරේ නෑ.

උපතින්ම කතෝලිකයකු වූ මා මාරියස් යනුවෙන් නම් ලබන්නේ කුමන ලක්ෂණයක් නිසාද යන්න මටද ගැටලුවකි. කෙසේ වුවද මේරිගෙත් මගෙත් ප්‍රේමය බිහිවන්නේ ඒ නමට පින් සිදුවන්නටය. පුස්තකාලය දැනුමේ ගෘහය වුවද කාලයාගේ ඇවෑමෙන් ප්‍රේමයේ මං තලාව බවට පරිවර්තනය වෙමින් පැවතිනි.

මාරියස් කියන්නෙ, ඉතාලියේ හදවත වන රෝමය බේරගත්ත රණශූරයෙක්. ඒකට මේ මාරියස් බේරගන්න හදන්නෙ කාගේ රෝමයද කියන එකයි ප්‍රශ්නෙ.

එහෙම නෑ. මට නිකං ඔයා දැක්කම අමුත්තක් දැනුනා. මේ මගෙ අත එහෙම කියද්දිත් වෙව්ලනවා.

ස්වභාවයෙන්ම ලජ්ජාශීලී එහෙත් විවෘත තැනැත්තෙකු වූ මා බොහෝවිට මා හා කුළුපග ඕනෑම අයෙකු සමඟ ඉතා විවෘතව කතාබහ කරයි. කෙසේ වුවත් මා  ඇය හා හාද වූයේ ඇට මැස්සා” නව කතාව මුල්කොටගත් කතා බහක අස්වැසිල්ලෙනි.

ගෑණු කියෙව්වට කමක් නෑ. හැබැයි රැඩිකල් වෙන්න හොඳ නෑ. එහෙම වුනොත් ගෑණුන්ගෙ ගෑණුකම යනවා.

රැඩිකල් කියන්නෙ කොණ්ඩෙ වවාගන්න එකයි, රැවුල වවාගන්න එකයි නෙමේ කියලා ඔයත් හොඳින් දන්නවනෙ. ඇරත් රැඩිකල් කියන්නෙ ගහක අත්ත ගැන කතා නොකර මුලක මූලකේෂිය ගැන කතා කරනවා වාගේ හරිම සියුම් දෙයක්. ඒ අතින් ගෑණුත් රැඩිකල් වෙන එකේ නරකක් නෑ. ඇරත් මම නම් කොච්චර විප්ලවවාදී පොත් කියෙව්වත් මම මමම තමයි.

නෑ මම කියන්නෙ ගෑණුන්ට දෙන නිදහස අයුතු විදිහට යොදාගන්න එක ගැන.

එහෙම කියන්නෙ මේ ලෝකෙ ඉන්න හැම පිරිමියම නිදහස හරි විදිහට පාවිච්චි කරනවා වගේනෙ.

කෙසේ නමුත් හැම විවාදයක්ම අවසාන වන්නේ ඇගේ ජයග්‍රහණයට ඉඩ දීමෙනි.

සතියකට තුන් හතර වතාවක් පුස්තකාලයේදී හමුවන අප කිසි දිනක පිටදී හමු නොවූයේ නිදහසේ ප්‍රේමය විදීමට ඇල්මක් නොමැති නිසා නොව ප්‍රේමයේ හැසිරීමට වඩා දෙනෙතට දෙනෙත හසුකරගනිමින් සිදුකරන බුද්ධි මණ්ඩල සාකච්ඡා අප දෙදෙනාගේම ගත සිත සුවපත් කරන නිසාවෙනි.

මම ආසම මම ඔයා එහා කොනේ ඉඳන් පොත් කියවන විදිහ බලන් ඉද්දි එක පාරටම ඒක දැකලා මගෙ දිහා බලලා පුංචි හිනාවක් දාලා මොකද කියලා අහන එකටයි”

අප කිසි දිනෙක එසේ එළිමහනක හමුවූයේද නැත.

මම ආසයි දවසක අත් පටලෝගෙන කියව කියව ඔහේ පාරේ ඇවිද යන්න. අපිට එතකොට අයිස් පලම් කන්නත් පුලුවන්. අපේ අක්කා කියලා තියෙනවා විහාරමහදේවිය ගාව හොඳ අයිස් පලම් ගන්න තැනක් තියෙනවා කියලා. එහෙම වුනොත් අපි ඒවත් කමු හරිද? මම ආසයි!

කාලයාගේ ඇවෑමෙන් මේරිගේත් මගේත් මිත්‍රත්වය බොඳ වන්නේ මා සිතුවටත් වසා අඩු කාලයකිනි. ඇගේ මවගේ ගම වන කෑගල්ලට පදිංචිය මාරු කිරීමට ඇගේ දෙමාපියන් අදහස් කරන බවත් එය එතරම් ඉක්මනින් සිදු නොවන දෙයක් බවත් ඇය පවසා තිබුණද ඇගේ සමුගැනීම් විරහිත නික්මයාම මෑතක් වන තුරුම සිතේ කැකෑරෙන පැනයක් විය. අහම්බයකින් මෙන් ඈ හමුවන්නේ ඇගේ පාසලේ මිතුරියක මාර්ගයෙනි.

ජීවිතේ හැමදෙයක්ම නිශ්චිත නෑ. අපි කවදා මැරෙයිද, කවුරු මැරෙයිද, අපිවත් දන්නෙ නෑ. ඒ හින්දා හැමෝටම ආදරය විතරක් දෙන්න. එච්චරයි අපිට කරන්න පුලුවන්. ලොකු ලොකු හීන මාලිගා මවාගන්නත් එපා. අද දවස ඇතුළෙ විතරක් ඉඳගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න.

ඇගේ වදන් මට සිහිවෙයි. වසරක් මුලුල්ලේ නිහඬව ගිනියම් වූ ගිනි කන්දක් එකවර පුපුරා ලෝදිය ගලා යන්නාක් බඳු වේදනාවක් මා ගත සිත සිසාරා පැතිර යන්නට විය. ටූ ස්ට්‍රෝක් ත්‍රී රෝද රථයේ ශබ්දයද අතරින් පතර බොඳ වූ මීදුමක් මෙන් ඒ වදන් ඇසෙන්නට විය.

සර් කොහෙටද යන්නෙ? ”

ආහ්! මේ... අපි යමු.සෙ... සෙමිට්‍රියට.

අදවත් ඈ එක්ක ගෙන මා විහාරමහදේවියට යා යුතුම ය.

පරෙස්සමින් ගිහින් එන්න. මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා.

                                           – නිර්ණාමිකයා

 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *