ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - ඔයාගේ රැකියාව උසස්ද පහත්ද?

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - ඔයාගේ රැකියාව උසස්ද පහත්ද?

“ලොකු අක්කා…”
අහිංසක පෙනුමක් තියෙන සුන්දර යුවතියක් මං ගාවට ඇවිත් කතාකළා.
“ඔව් නංගි…”
මං ඈට නිදහසේ ඇගේ කතාව දිග හරින්න දීල ඈ දිහා බලන් හිටියා….
“අක්කේ මට ජීවිතේ නැතිකරගන්න හිතිලා තියෙන්⁣නේ”
ජීවිතේ නැතිකරගන්න තරම් පිටින් පේන තරමේ වරදක් ඈට තිබුණේ නෑ… ඒත් මම හිටියේ කුතුහලයෙන්…
“මොකක්ද ඔයාගෙ නම?”
“මං පවනි.”
“ඇයි නංගි, මොකක්ද ඔයාව ඒ තරම් අසරණ කරන්න සිද්ධ වුණේ?”

මං ඇහුවේ මට කතාකරන්න පුළුවන් උපරිම මෘදු බවකින්… ඇගේ දෑස්වලින් කඳුළු ගලා ගියා හැරුණු විට මුවින් එක වචනයක් එළියට ආවේ නෑ. ඇයට මා සමඟ කතා කරන්නත් වචන ගොනු කර ගන්න අපහසු තරම්. ඒත් ඇය හෙමින් හෙමින් ඇගේ කතාව මට කියන්න ගත්තා…

ඇය මේ වන විට ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩට යනවා. ඇය අවුරුදු ගාණක ආද⁣රයක් තියෙන ආදරවන්තියක්. ඇගේ ආදරවන්තයා ⁣බැංකුවක රස්සාවක් කරන කෙනෙක්… මුණගැහිලා තියෙන්නේ යාලුවෙක්ගේ මංගල උත්සවයකදි.

“මං ගොඩක් සල්ලි තියෙන පවුලක් කෙනෙක් නෙවෙයි. ඒත් මං ඉගෙනගත්තා. හදිසියේ තාත්තා අපිව දාලා යන්නම ගියා, ඇක්සිඩන්ට් එකක් වෙලා එකතැන හිටිය නිසා අපි ළඟ එකතුකරගත්තු හැමදේම තාත්තා වෙනුවෙන් වියදම් කළා. මට තව ඉන්නේ නංගියි මල්ලියි. අම්මා රස්සාවක් කළේ නෑ. තාත්තා⁣ ලොකු කඩේක ගිනුම් වැඩ කළා. පොඩි වන්දියක් ලැබුණත් මාස් පතා මුදලක් අතට එන්න ක්‍රමයක් තිබුණේ නෑ. අම්මා ඉඳිආප්ප තම්බලා විකුණුවා. ඒකෙන් අපි කාලා හිටියා. ඒත් උගන්වන්න තරම් වත්කමක් ඒකෙන් ආවේ නෑ. මම ඉගෙනීම නැවැත්තුවා. උසස්පෙළට තව අවුරුද්දක් තිබුණා. නංගියි මල්ලියි වෙනුවෙන් මම ගාමන්ට් ආවා…

ඇගේ කතාව බොහොම සාමාන්‍යයි වගේ පේනවා ඇති.
“ඉතින් දැන් මොනවද වෙලා තියෙන්නේ?” කියලා මාත් ඇයගෙන් ඇහුවා.

“මම යාලුවෙලා ඉන්නේ සහන් අයියා එක්ක. අපි දෙන්නගෙ ආදරේට අවුරුදු හතරහමාරක් වගේ වෙනවා.මට දැන් එයාගෙන් වෙන් වෙන්න වෙලා.”

“ඒ ඇයි පවනි?”

ඇගේ මුහුණෙ තිබුණෙ බොහොම බයාදු ගතියක්.

“මගෙ රස්සාව නිසා ලොකු අක්කේ”

ඈ කතාකළේ බොහොම කලකිරීමකින්…

“මං මුලින්ම සහන් අයියට කිව්වා මං ඉගෙනගෙනත් නෑ,⁣ ලොකු රස්සාවකුත් නෑ. එයාට මාව නොගැළපෙන බව… ඒත් එයා මාව අතාරින්න හිතුවෙවත් නෑ; මං ගැන ගෙදරටත් කිව්වා. ඊට පස්සේ එයා කිව්වා අම්මලා මට කැමතියි කියලා”

“ඉතින් එහෙනම් ඇයි ඔයා දුකින් ඉන්නෙ?”

“ඒක ඇත්ත නෙමෙයි ලොකු අක්කේ. සහන් අය්යගෙ තාත්තා මාව හමුවන්න ඇවිත් කීවා මට කැමති නෑ කියලා. අයියගේ හිත රිද්දන්න බැරි නිසා හා කීවට මේක වෙන්න ඉඩ තියන්නේ නෑ කීවා. ⁣මම හේතුව ඇහුවා. එයා කියන්නේ මගේ රස්සාව නිසා කියලා…මගේ රස්සාව ඒ තරම් නරකද?”

ඔයාටත් මේ ප්‍රශ්⁣නේ දවසක ඇවිත් ඇති. එහෙමත් නැත්නම් ඔයාට ඉස්සරහට මේ ප්‍රශ්නේ එන්න නියමිතව ඇති. මොකක්ද මේ රස්සාව ගැන ප්‍රශ්නය…ඇයි අපි මේක ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ? ඇයි සමාජය මේ තරම් නරක විදියට සලකන්නේ….

මේ ප්‍රශ්නය විසඳපු විදිය අපි කියන්නම් ලබන සතියේ… ඒත් එතකම් මේක මතක තියාගන්න… ලංකාවට ආදායම් උපයන, ලංකාව පොහොසත් කරන රස්සාවක් කරන ඔයා තරම් පොහොසත් කෑ කවුරුවත්… ඔයා කරන්නේ බොහොම ගම්භීර රස්සාවක්. බොහොම වැදගත් රස්සාවක්. සමාජයේ පිරිසකට අවශ්‍ය වෙලා තියනවා ඒක පහත් කරලා සලකන්න. ඒත් අපි හයිය ගෑනු… අපි හම්බකරන ගෑනු… අපි අපේ දේවල් තනියම කරගන්න ගෑනු…. ඉතින් අපි සාඩම්බර ගෑනු….

පවනි අන්තිමේදි සහන්ව බැන්දා…දෙමාපිය ආශිර්වාදය එක්ක…ලොකු අක්කා ඒ ගැටලුවට විසඳුම දුන්න විදිය දැනගන්න ඊළඟ කලාපයෙත් අපිත් එක්ක එකතුවෙන්න…

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *