ඇසළ සඳ

වළාකුළු මත නැගුණු ඇසළ සඳ                 කලුවරට
පිපුණු මෘදු කුමුදු මල් ළං කරන් ඔය            ළැමට
පියෙන් පිය නැගෙමින් මහ සෙනඟ මැද බුදු පුදට
අහඹුවක් ලෙස දුටිමි නුඹෙ දෑස පෙර           පිනට

මුවෙන් මුව නොදොඩාම ඇසින් ඇස ඉඟි    මරා
නැගුන මද මදහසින් මසිත තෙත් වී             ගියා
සසර මග මං කතර එකට බැඳෙමින්           ඔයා
ඇවිත් ඇති එනිසාම හද බැඳෙන්නැති         දයා

මලින් මල එකින් එක තබා බුදු                  පුදසුනේ
පියා නෙතු පියන් වැඳ සුදු වතයි                 දිළිසුනේ
පහන් සිල සිසිලසින් ඔය දෑස පෑ                සෙනේ
පැතූ පැතුමන් සිහිව සිතට සිසිලක්              දැනේ

ගැටබරු වීදියේ කස පහර හඬ                    වැඳී
වැයෙන බෙර වෙණ තතට, නටයි අත් තාල දී
බලා රස පැණි වළලු කමින් සෙනඟෙහි      ඇදී
මැකී ගිය ඇය කොහිද සොයයි සිත වද        දිදී

නිල්වලා නදී තෙර ඇසළ සඳ                    සැඟවුණා
රජ්ජුරු බණ්ඩාර දෙව් මට විහිළුවක්            කළා
සිත බැදුණු එකම දෙය ඇයව මතකයේ       රුවා
ඇසළ පෙරහැර ඇදී මාවතේ දුර                 ගියා

හිරූ සිතාරා ජයසිංහ ආරච්චි – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook