එකම මව් කුස නූපදුන මුත්
එකම සෙවණක යට ඉඳන්
එකට එක්වී සිනාසෙමු අපි
සොයුරු පෙම හද තුළ දරන්
රුදුරු වන මැද නොදැන නිසි මග
මං මුලා වූ විට එදා
සබඳ ඔබ මට පහන් ටැඹ විය
ජය මගේ සලකුණු කියා
ලොවුතුරා නිවනේ මගට ගිය
සාරිපුත් මුගලන් තෙරුන්
කලණ මිතුදම අගය දක්වා
තිලොවටම පෙන්වූ ලෙසින්
රන් රිදී මුතු වලට වැඩියෙන්
අනගි වේ නම් කෙනෙකු යම්
සැබෑ මිතුරෙකි පමණි සැමදා
දෙසූයේ සමිඳුන් උතුම්
මදුවිතින් නෙත බමන සැණකෙලි
නුරා අඟනුන් මැද නොවේ
ඇඟිලි තුඩු මත ලොවම දඟ දෙන
මුහුණු පොත් අතරද නොවේ
සිහින බිඳහැර ඔබේ පා මුල
දියව යද්දී පැතු සුවේ
කඳුළු අතරින් බලනු නෙත් හැර
කළණ මිතු ඔබ අසල වේ…
ප්රබෝධිකා ජයවීර – බ්රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය