ගැහැනියකගේ සුසුම

ගැහැනියකගේ සුසුම

හිමි ඔබ සටනකය රෝහලේ දිවා               රැයේ
රටා දැමූ පැදුරේ මම හිඳිමි                         බියේ
තබලා ගියත් ඔබෙ එඩිතර ගතිය                ළයේ
මගෙ හිත සැකයකින් පෙළෙනවා දිවා        රැයේ
 

අහසේ අඳුර මගෙ ගෙපැලට වඩින                      විට
පාළුව ගිනි ගනියි හදවත දෙපලු                       කොට
සුරතල් සිනා හඬ එනවා මතක්                        කොට
හිමියනි මගේ හිත වාවනු බැරිය                          මට
 
හිමි රජුනේ සවිබල අත්                              රිදෙනව ද
දා බිඳු කඳුළු මුතු කැට මෙන්              පෙනෙනව ද
මඳනල හෙමින් විත් දහදිය                       බොනවා ද
හිමියනි වෙහෙස නිදි මත දෙක            දැනෙනව ද
 
මිනී කඳන් එක පිට එක                         නොවැටේවා
සහනය මගේ හිමි සඳටත්                          ඇති වේවා
ජීවය ඉල්ලනා රෝගීන්                              අඩු වේවා
දුක සැප බලන්නට අද ගෙට                    පැමිණේවා
 
සාගර ජලය තරමට මම ඉකි                             බින්දා
පාළුව තනිය මා වටකර ගත්                             හින්දා
මුවඟට සිනාවන් ඒවීදෝ                                   මන්දා
යන්නට එනවා ද කුස බිළිඳෙකු                       රන්දා
 
හිමි රජුනේ ඔබෙ හදවත මුදා                            හළ
සැනසුම තිබේ මේ මගෙ හද කුටිය                  තුළ
සුරතල් සිනා හඬ නංවන එතෙක්                    කල
මරණය එපා හිමි හට බුදු පසක්                        කළ
 
එන්.වී. සුගන්දිකා මදුවන්ති

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook