මෙතෙක් කතාව
නවසීලන්තයේ ජීවත්වන නිර්මාල්ට උත්තරා නම් සුන්දර තරුණියක් මුණ ගැහෙනවා. කාත් කවුරුත් නැති රටක උත්තරාගේ මුණ ගැසීම නිර්මාල්ට ඇති කළේ සොහොයුරියක් ලැබුණා සේ හැඟීමක්. කෙටි කලකින්ම ඔවුන් දෙදෙනා අතර කුලුපග මිත්‍රත්වයක් ඇති වෙනවා. මංමාවත් දිගේ ඇවිද යමින් ඔවුන් විනෝදයෙන් කාලය ගෙවමින් සිටියා.
අද එතැන් සිට…
වසර දෙකකට ආසන්න කාලයක් මම නිව්සිවල ජීවත් වුණාද කියල හිතෙනවා. ඇත්තෙන්ම අනවශ්‍ය දේවල් ගැන නොසිතමින් මගේ ජීවිතේ සරලව ගෙවුණේ මා පැතූ සිහින සැබෑ වූ නිසා වෙන්න ඇති. අධ්‍යාපන කටයුතුවලින් පසුව නවසීලන්තය වගේ රටක ටික කාලයක් රැකියාව කරන්න ලැබීම මාහැඟි අලුත්ම අත්දැකීමක්.
මම තරමක් අතීතයට පියමන් කළා. උත්තරා මුහුද දිහා බලාගෙන සිටියා. මේ කෙටි කාලයට අපි කුලුපග යහළුවන් වුණාට ජීවිතේ අභ්‍යන්තරය පිළිබඳ කිසිත් කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි නිහඬව දෙතැනක, මම ඇය දිහා බලාගෙන සිටියා. මේ සුන්දර රුවැත්තිය දිහා කල්පයක් වුවත් නෙතු නොහෙළා බලා සිටිය හැකි බව වැටහුණේ එදා. ඇය ඈත පාවෙලා යන බෝට්ටු දෙස නෙතු යොමා සිටියත් ඒ දෙනෙත් ඒ ඉමම නොතිබුණ බව මම වටහා ගත්තා. තවත් මොහොතකින් ඇගේ නෙතු අග පුංචි කඳුළක්.
මට බය සිතුණා… මොකද මේ කෙල්ල අඬන්නේ. මගෙන් වරදක්වත් වුණාද?
මම ඇය වෙතින් මදක් මෑත් වුණේ අප ඕනෑවටත් වඩා ළංවී ඇති බව අවබෝධ වුණ නිසයි.
“මොකද පැනල දුවන්නද හදන්නේ.” ඇයගේ නෝක්කාඩුව.
“නෑ උත්තරා. මම හිතුවේ…”
“මොනවද ඔයා හිතුවේ අයියේ… මම, ඔයා ළඟටමවෙලා ඉන්නකොට ඔයාට අප්සෙට් කියල හිතුව.”
“මෝඩ අයියේ ඔයා මගේ ළඟ නැතිවෙයි කියල මට දුක හිතුණේ.”
අප දෙදෙනා අතර ඇයගේ හෑන්ඩ් බෑගයේ පරතරය පමණයි පැවතුණේ.
“ඉතින්…”
ඇය මාගේ සමීපයේ රැඳී සිටීමට අවැසි බව ඉඟි කළ බැවින් මම ඇයට තරමක් ළං වුණා. අනාරාධිතවම ඇය මගේ උරහිසට හිස තියන් හඬන්නට වුණා. මා හට බිය දැනුණත් ඇයට එසේ හිඳින්නට ඉඩ දුන්නේ ඇය කෙරෙහි ඇති වූ සංවේගය මගේ හදවතට දැනෙන්නට වූ නිසා. එහෙත් සුළු වෙලාවකට පසු ඇය මා වෙතින් නික්මී ලැජ්ජාවෙන් මෙන් ඉවත බලාගෙන සිටියා. මෙය මා හට තරමක් හැඟීම්බර අවස්ථාවක් උදාකරනු ලැබුවත් ඇගේ සිත ඈත පෙනෙන වරායෙන් එහාට ගොස් ඇති බව මට වැටහුණා.
“උත්තරා මොකද මේ?”
“නිර්මාල් අයියේ ඔයා වැඩියෙන්ම කැමති කාටද?”
“මාර ප්‍රශ්නයක්නේ ඔයා ඇහුවේ නංගියෝ”
“මොකද එක පාරටම එහෙම දෙයක් ඇහුවේ ඔයා?”
“හරි ඉතින් අගේ කරන්නේ නැතුව කියන්නකෝ.”
“අගේ කළා නෙවෙයි හලෝ… මොකද එක පාරටම මම කැමතිම කෙනා ගැන අහන්නේ?”
මම කුමක් කිව යුතුද මගේ ලෝකයේ මම කැමතිම කෙනා මගේ අම්මා, ඇයට පසුව කිහිප දෙනෙකු සිටියත් ඇය තමයි මගේ අංක එක.
ඇය අපව කුඩා කල සිටම රැක බලාගෙන අද ඉන්න තත්ත්වයට ගෙන එන්නට ගත් වෙහෙස කියා නිම කළ නොහැකියි. තාත්තා අපෙන් වෙන් වන විට නංගිට වයස අවුරුදු දෙක වුණා පමණයි. හමුදා ජීවිතේ එක් කටුක අත්දැකීමක් අපි ලැබුවා. එදා උතුරුකරේ සිදු වූ සටනකින් එයාට අපිව දාලා යන්නට වූ බව අපිට හීනයක් වගේ. පියෙකුගේ උණුසුම හරි හැටි ලබන්න අපි දෙදෙනාම පින් කර තිබුණේ නැහැ. එදා සිට අද වනතුරු අපිට මවුපිය සෙනෙහස ලැබුණේ මවගෙන් පමණයි. එයා මගේ ලෝකේ වීරවරිය.
සිතුවිලි දැහැනින් මිදුණ මම උත්තරාගේ පැනයට පිළිතුරක් දිය යුතුය.
“ඔයා දන්නවද නංගි මගේ කැමතිම කෙනා ලේඩි කෙනෙක්.”
“ආ…ආ… ඇත්තද? හරි නිර්මාල් අයියේ… කවුද ඒ වාසනාවන්තිය?” තවත් බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට ඇති උත්තරා මහත් බලාපොරොත්තුවෙන් දෑස් විදාගෙන මා දෙස බලා සිටියේ ඒ ඇය බව පවසනු ඇතැයි සිතා විය හැක. ඇයගේ මුහුණේ ස්වරුපය වෙනස් වූ බව මට දැනුණා. එය සඟවා ගත් ඇය, මා ඇයට විහිළුවක් කිරීමේ අදිටනින් මද වෙලාවක් නිහඬව හිඳ ඇයට මගේ පිළිතුර ගැන සිතන්නට අවස්ථාව දෙමින් ඇය දෙස බලා සිටියා. ඇය තුළ කුතුහලය වැඩිවන බව පෙනෙන්නට තිබුණා.
“ඔයා ඒ කෙනාව හොඳටම දන්නවා.” ඇය තරමක් කලබල වන බව දැනුණා. අසුනින් නැගී සිටි ඇය වෙරළ අසල වූ බැම්ම දෙසට පියමන් කළා.
කෙල්ල කල්පනා කරනවා ඇති කවුද ඒ ගැහැනිය කියල. විහිළුවට වගේ එයාට මදක් හිතන්නට ඉඩ දුන්නත් ඇය දැඩි අපහසුතාවයකින් පෙළෙන බව දැනුණා. තවත් ඇයව රිදවීමට අවශ්‍ය නොවන බැවින් ලී බංකුව වෙත එන ලෙස ඇයට සන් කළා.
“උත්තරා මෙතනට එන්න… මම ඔයාට කියන්නම් මගේ ජිවිතේ අංක එක කවුද කියල.”
“ඇය තරහින් මෙන් පැනගෙන ආවා… හ්ම් හ්ම් හ්ම් කියනව කවුද කියල.”
“අම්මෝ මෙයාට තරහ ගිහින් තියෙන හැටි. පොඩ්ඩක් ඉන්න මැඩම්.”
මාව කන්න වගේ බලාගෙන සිටින ඇය ලී බංකුව මත හිඳ ගත්තා.
“උත්තරා ඔයා හිතන්නේ කවුරු වේවිද මගේ ජිවිතේ අංක එක. මම දන්නවා. මෙහේ ලස්සන සුද්දියෙක් අල්ලාගෙන ඇති. ඒකනේ ඔය තරම් ආඩම්බර”
“පිස්සුද කෙල්ලේ මොන සුද්දියොද මට, උපාසකයා වගේ හිටියේ පහුගිය කාලෙම. ඔන්න ගර්ල් කෙනෙක් දිහා හරියට බැලුවනම් ඒ ඔයා දිහා විතරමයි.”
“මොනවා…මේ අයියේ එනවද මට බොරු කියන්න.”
“බොරු නෙවෙයි අනේ ඇත්තමයි කියන්නේ. කලබල වෙන්න එපා, එයා ඉන්නේ ලංකාවේ. ඔය ආවේ හොරා එළියට. ලංකාවේ ඉන්නවනේ?”
“ඔව් ඉන්නවා. ඒ තමයි මගේ ආදරණීය අම්මා.”
“හරිම නරකයි ඔයා. මම බය වුණා.”
“ඒ මොකද?
“මේ මෝඩ කුමාරයව කවුරු හරි අල්ලාගෙන කියල.”
“එහෙම ලේසියෙන් අල්ලගන්න බැහැ අපිව හලෝ.”
“ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ.”
“නැහැ තමයි”
මෙන්න මෙයා හයියෙන් හිනා වෙනවා. බංකුව උඩට නැග්ගා, බිමට පැන්නා පොඩි ළමයෙක් වගේ.
“මොකද මේ?”
“මට නිකන් පොඩි හැපිනස් එකක් අවා. එහෙම වෙන්න බැරිද?”
“අපෝ පුළුවන්.. බලාගෙන කොලේජ් එකේ ළමයි ඇති.”
මද වෙලාවකින් ඇයගේ ස්වරූපය වෙනස් වුණා. නැවතත් තාප්පය දෙසට ගොස් මුහුද දෙස බලාගෙන හූල්ලනවා. නැවතත් ආපසු පැමිණෙනවා. “උත්තරා… මේ අහන්න. ඔයාගේ හිත රිදුණා නේද?” මම ඇය අබියසට ගොස් ඇය අසලින් සිටගනිමින් ඇයගේ සුරත ග්‍රහණය කර ගත්තා.
ඇයගේ සිහින් ඉකිබිඳුම මට මහත් වේදනාවක් වුණා. කුමක් හෝ අවුලකින් ඇය පෙළෙන බව නම් සහතිකයි.
නැවතත් බංකුව වෙත පැමිණියත් එක් වරම ඇය බංකුවෙන් නැගී සිට ගල්බැම්ම දෙසට ගමන් කර මුහුද දෙස බලාගත්වනම සිටියා. ඉතාමත් අසීරු ලෙස ඇය මනසින් ඔත්පළ වී ඇති බව මම තේරුම් ගත් බැවින් ඇය වෙත ගමන් කළ ද මා දෙස නොබලාම බිඳීයන රළ පෙළ දෙස නෙත් යොමාගෙන සිටියා. ඇයට තවත් රිදවීමට අවශ්‍ය නැත. හැඟීම්බරව මම ඇයගේ නම කියා කතා කළා.
“උත්තරා… මේ බලන්න නංගි. ඔයාගේ හිත රිදුණ නේද? මම හිතුවේ නැහැ ඔයාට මෙහෙම වේවි කියල. මට සමාවෙන්න සුදු නංගි.”
ඇයගේ හැසිරීම තුළ මෙවන් සංවේදී චරිතයක්වේයැයි මම කිසිදාක සිතුවේ නැත. ඇය කෙරෙහි බරපතළ ලෙස නොසිතුවත් ඇයගේ සිත තුළ කුමක් හෝ විශේෂ කරුණක් හේතුවෙන් අපහසුතාවයෙන් සිටින බව නම් පැහැදිලි වුණා.
ඇයගේ මනස වෙනත් දෙයකට යොමු කළහොත් මේ අවුලෙන් මිදීමට හැකිවේයැයි මට සිතුණා. මෙතනින් නික්ම යාම වඩාත් සුදුසුයි. ඇයගේ සිත් රිදුමට හේතු වූ කාරණාව වෙනත් වෙලාවක කතා කිරීම සුදුසු බැවින් මම ඇයට අවන්හලකට යාමට කතා කළා.
“සුදූ අපි මොනවහරි බොන්න යමුද? කෝපි එකක් හොඳයි නේද?”
ඇය ප්‍රතිචාර නොදක්වාම සිටියා. මම නැවතත් ඉතාමත් ආදරයෙන් ඇයට ආරාධනා කළා. එයින් ද ප්‍රතිචාර නොලත් කල මා ඇයගේ සුරත ගෙන බලෙන්ම අසල පිහිටි අවන්හල වෙත රැගෙන ගියා. එවැනි ප්‍රතිචාරයක් මගින් ඇයගේ සිතුවිලි වෙනස් කළ හැකි බව මා සිතු අයුරින්ම කුඩා දැරියක සේ මා සමග අවන්හල වෙත පිය නැගුවා.
අපි හොට් ඩෝග් සමග කෝපි ඇණවුම් කළා. මුහුද දෙසට වූ මේසයක අසුන් ගත්තේ ඒ චමත්කාර දර්ශනයෙන් ඇගේ සිත පහන්වේයැයි හිතල. ඕනෑම දෙයක පසුබිම එහි අන්තර්ගතය වෙනස් කරන බව මම අත්දැකීමෙන්ම දැනගෙන හිටියා.
“උත්තරා ඔයා ගේ හිතේ මොකක් හරි අප්සට් එකක් තියෙනවා. කියන්න පැටියෝ මට.”
“ඉතින් කියන්නකෝ සුදු නංගි මොකද ඔයාට තරහ ආවෙ?”
“තරහ වුණේ නෑ ඉතින්. මගේ හිතේ දුක දන්නේ මම විතරයිනේ.”
“ඒකත් එහෙමද… හරි මම ඉන්නවනේ ඔයා ළඟ. කියන්න මට මම අහගෙන ඉන්නම්.”
“දැන් රෑ වුණා වැඩි නේද?”
“ඒකනම් ඇත්ත උත්තරා.”
“හරි එහෙනම් කෙටියෙන් කියන්න මොකද ඔයා අම්මට ඔය තරම්ම ආදරේ කියලා?”
“මට ඉන්නේ අම්මයි නංගියි විතරනේ ඩාර්ලින්. මම සිනහවෙවී පැවසුවා.
“ඒක මම දන්නවනේ. ඉතින් ඔයා අයෙත් විහිළු කරනවනේ. කියන්නකෝ…”
“එයා තමයි අපි දෙන්නව පොඩි කාලේ ඉඳලම තනියම බලා ගත්තේ. තාත්ත නැති වුණේ අපි දෙන්නම පොඩි කාලේ. ඉතින් තාත්තගේ අඩුවක් නොදැනෙන්න එයා අපිව බලා ගත්තා. එයා හරිම ආදරණීය දක්ෂ ගැහැනියක්. වෙලාවකට එයා ගොඩක් තද හිතක් තියෙන චරිතයක්. එයාගේ දක්ෂකමට අපි ලෝකය නිසි ලෙස දකින්නත් ආදරේ ලබන්නත් වාසනාවන්ත වුණා. එයා අපිට ජීවිතේ විඳින්න කියල දුන්නා. ඒ වගේම වගකීමෙන් වැඩ කරන්න පාර පෙන්නුවා. කැම්පස් එකෙන් අවුට් වෙනකම් එයාට පුළුවන් විදිහට අපිව බලාගත්තා. ඒ නිසයි අම්ම මගේ ලෝකේ ඉහළින්ම ඉන්නේ.” මම දිගටම කියාගෙන ගියෙමි.
“දැන් තේරුණාද මැඩම්ට.”
“මෙයාගේ පුදුම ආදරේ අම්මිට”
“එහෙම තමයි හොඳ කොල්ලෝ”
“හ්ම්ම්… මෙයා ඔය වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටත් ආදරේ කරයිද දන්නේ නැහැ.”
“මොකද නැත්තේ මගේ ඇස් දෙක වගේ බලාගන්නවා.”
“මොකක්ද ඇස්දෙක වගේ බලාගන්නවා කියන්නේ?”
“ඒකවත් දන්නේ නැද්ද?”
“නැහැනේ මෝඩයෝ.”
“අම්මගෙන් අහගන්න එහෙනම්.”
“ඉතින් කියන්න ඔයාගේ ස්ටෝරි එක.”
“මගේ ලෝකේ තාත්තා හිටියේ නැහැ වැඩි කාලයක්. එයා අම්මිව මැරි කළාට වැඩි කාලයක් හිටියේ යු.එස්.වල. අවුරුදු කිහිපයකට වරක් මෙහෙ එනවා. ඔයා දන්නවද මට තේරන වයසේදී එකම එක මාසයක් විතරයි එයා මාත් එක්ක හිටියේ.”
“මට ඒ පාළුව ගොඩක් දැනෙනවා අයියේ.”
“ඉතින් මේ මම ඉන්නේ ඔයාට. ඉන්නවා තමයි ඉතින්. ඒත් ඔයාගේ හිත තියෙන්නේ ලංකාවෙනෙ”
“නැහැ කෙල්ලේ, මම එයාලට ආදරෙයි. ඒ වගේම මම මෙහෙට කැමතියි. ජානි ආන්ටිට, ඔයාට ආදරෙයි. “
“ආ… ආ… ඇත්තද?”
“ඔව්.”
එකෙණෙහිම ඇය මා සුරත වැරෙන් අල්ලා ගත්තා.
“දුක් වෙන්න එපා ළමයෝ. මගේ ජිවිතේ ළඟම හිතවතුන් ඔය දෙන්නා තමයි රොහාන් හැරුණම. ඒ පාළුව ඔයාට නැතිවෙලා යාවි.”
“නිර්මාල් අයියේ අම්මිත් ඕක කිව්ව දවසක්.”
“හා…හා… එහෙනම් දෙන්නම මගේ ගැන කතා කරනවා.”
“ෆ්‍රී වෙලාවට අපේ ටොපික් එක ඔයා තමයි.”
“අපිට දැන් මෙහෙන් යන්න වෙලාව හරි. සීතලත් ටිකක් වැඩි වුණා වගෙයි. කෝපි එකේ රස්නෙත් බැහැල ගියා. යමු එහෙනම්.”
මතු සම්බන්ධයි.
බිමල් පීරිස්
ප්‍රවාහන අංශය – ප්‍රධාන කාර්යාලය