කම්මැලි වෙන්න එපා

ඔබ අහල තියෙනවද බිල් ගේට්ස් ගැන. එතකොට මාක් සකර්බර්ග් ගැන. මම හිතන්නෙ මේ අය ගැන නොදන්න කෙනෙක් නැහැ. හැමෝම දන්නවා. හැමෝම ඔවුන්ව අගය කරනවා.

ඇයි ඒ?

විවිධ අය විවිධ උත්තර දෙයි. නමුත් මොහොතක් කල්පනා කරල බලන්න ඒ හැමෝම අපට වඩා සුවිශේෂ වෙන්නේ ඇයි? අපට වගේම ඔවුන්ටත් ඇස්, කන්, නාසය තියෙනවා. යමක් හිතන්න හිතක් මෙන්ම තේරුම් ගැනීමට මොළයක් තියෙනවා. නමුත් ඒ සියල්ලම අපට සමානව තිබෙන ඔවුන් ලෝකයේ ඉතාම සුවිශේෂ ස්ථානයක අද ඉන්නවා.

ඒකට බලපාන ප්‍රධාන කාරණයක් තමයි යමක් හිතන විදිය හා යමක් දකින විදිය. අපට දිනකට තිබෙන පැය 24 ම තමයි ඔවුන්ටත් තිබුණේ. නමුත් අපි අපිට නියමිත පැය 24 භාවිතයට ගන්නේ කොහොමද? බොහෝ දෙනෙක් කැමැති  නිකන් ඉන්න. නමුත් ලෝකය ජයගත් බොහෝ මිනිසුන් තමන්ට හිමි පැය 24 උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන ලක්ෂණයක්.

කාලය කියන්නෙ හරි අපූරු දෙයක්. අප යමක් කළත් නොකළත් කාලය ගත වෙනවා. ඒ කාලය පිළිවෙළින් ප්‍රයෝජනයට ගැනීම අප සතු වගකීමක්. කෙනෙකුගේ වර්තමාන ප්‍රතිඵලවලින් පැහැදිලි වෙන්නෙ ඔහු පසුගිය කාලය කෙලෙස ප්‍රයෝජනයට ගෙන තිබෙනවද කියලා.

ඇයි අපි කම්මැලි වෙන්නේ? අපි අපිට හිමි කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ ඇයි? මෙයට බලපාන ප්‍රධාන හේතුවක් තමයි තමන්ටම කියලා අරමුණක් නැතිකම. බොහෝ දෙනෙක්ට තමන්ගේ අනාගතය ගැන අරමුණක් නැහැ. ඒ නිසා තමන් කරන කාර්ය පිළිබඳ අවබෝධයක් හෝ වගකීමක් ගන්න කැමැත්තක් නැහැ. සමහර අය උදේට රැකියාවට එන්නේ හවසට ගෙදර යන්න බලාගෙන. යමක් අලුතින් ඉගෙන ගන්න වගේම තමන් දන්න සහ තමන් ඉන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න කිසිම උනන්දුවක් නැහැ. බොහෝ දෙනෙක් ඔවුන් පසුකර ඉදිරියට යද්දි තවත් කෙනෙක් තමන් පටන් ගත් තැනම සිටින්නේ ඒ නිසා.

ඔබ මොහොතක් හිතන්න. අද ඔබ කුමන ස්ථානයක සිටියත් ඒ සියල්ලටම හේතුව පසුගිය කාලය ඔබ භාවිත කළ ආකාරයයි. ඔබ අනාගතයේ සිටිය යුතු තැන තීරණය කරන්නේ අද ඔබ ඔබේ කාලය ප්‍රයෝජනයට ගන්න ආකාරය අනුව බව අමතක කරන්න එපා.

තමන්ගේ වර්තමානය මෙන්ම අනාගතය නිර්මාණය කරන මැවුම්කරුවා වෙන කිසිවෙකු නොවෙයි, ඒ ඔබයි. එහි වගකීම තිබෙන්නේ ඔබ අතේ බව අමතක කරන්න එපා. කම්මැලිකම පරාජය කරන්න. කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ පසුගිය කාලයේ ලෝකයේ බොහෝ ව්‍යාපාර දුර්වල වුණා. සමහර ව්‍යාපාර දින නියමයක් නොමැතිව වහන්නට පවා සිදු වුණා. නමුත් මේ කාලයේ  බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් වැනි අය තමන්ගේ ආදායම වර්ධනය කරගෙන තිබෙනවා.

ඔබත් අනාගතයේ ඔබේ ඉලක්කයට යන්න අදම අධිෂ්ඨානයක් ඇති කර ගන්න. කම්මැලි වෙන්න එපා. ඔබ භාවිත කළත් නොකළත් කාලය ගතවෙන බව සිතේ තබා ගන්න. රන් හා වටින කාලය ඔබේ අනාගතය වර්ණවත් කරන්නට භාවිත කරන්න.

ඔබට ජය!

චතුනි ජයසේන
මනෝ උපදේශිකා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *