ගරු කිරීමේ ගුණදම් වර්ධනය කරගනිමු

වැඩිහිටියන්ට සහ එකිනෙකාට ගරු කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක ලක්ෂණයක්. තිත්තිර ජාතක කතාවෙන් කියවෙන්නේ ගරු කිරීමේ වටිනාකම ගැන.

අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය සාදා ඒ බව බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. මේ අතර ජබග්ගිය නැමති භික්ෂූන් සය දෙනා වේලාසනින් ජේතවනාරාමයට ගොස් “සංඝයාට සෙනසුන් පනවා ඇත්තේ කොහිද?” කියා විමසමින් මහතෙරුන් වහන්සේලා සහ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩින්නට පෙර සෙනසුන් අත්පත් කරගත්තා. සැරියුත් තෙරුන් පවා වැඩම කළේ අන්තිමට නිසා උන්වහන්සේට වැඩ සිටින්නත් සෙනසුනක් ලැබුණේ නැහැ. ඒ නිසා සැරියුත් තෙරුන් වහන්සේ රාත්‍රියේ වැඩ සිටියේ ගසක් යට.

බුදුරජාණන් වහන්සේ පසු දා හිමිදිරියේ උන්වහන්සේගේ කුටියෙන් එළියට විත් උගුර පාදනකොටම සැරියුත් තෙරුන් ද උගුර පෑදුවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන්ගෙන් විමසා සිටියා ගසක් යට රැය පහන් කරන්නට හේතුව. තමන් වහන්සේ පැමිණීමට ප්‍රමාද වූ නිසා සෙනසුනක් හිමි නොවූ බැවින් රාත්‍රිය ගසක් යටට වී සිටි බව සැරියුත් තෙරුන් වහන්සේ දන්වා සිටියා. එය ඇසූ බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් කැඳවා තිරිසන් සතුන් පවා ඉස්සර කාලයේ වැඩිමහලු අයට ගරු සත්කාර කළ බව වදාළමින් තිත්තිර ජාතක කතාව වදාළා.

“මහණෙනි, අතීතයේදී හිමාල වනයේ විශාල නුග රුක් සෙවණක ඇතෙක්, තිත්වටුවෙක් සහ වඳුරෙක් වාසය කළා. ඔවුන් යහළුවන් ලෙස වාසය කළත් දවසක් ඔවුන්ම කතා වුණා මේ විදියට එකිනෙකාට ගෞරවයක් නැතිව වාසය කරන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. අපි අතර ඉන්න වැඩිමහලු කෙනා කවුද කියලා හොයාගෙන ඒ කෙනාට ගරු සත්කාර දක්වමින් අපි ජීවත්වෙමු කියලා ඔවුන් කතා වුණා.”

දැන් ඉතින් ප්‍රශ්නේ කොහොමද මේ තුන් දෙනා අතරින් වැඩිමහලු කෙනා තෝරාගන්නේ කියන එක. නුග ගහ ගැන මේ තුන් දෙනාට තියෙන මතකයන් මොන වගේ ද කියලා දවසක් මේ තුන් දෙනා කතා වුණා. එතකොට ඇතා මෙහෙම කිව්වා.

“මම පුංචි කාලේ මේ නුග රුක පුංචි පැළයක්. මම ඇවිදිනකොට ඒ නුග පැළය මගේ කුසේ ගෑවෙනවා.”

ඉන්පස්සේ වඳුරා ඔහුට නුග රුක ගැන තියෙන මතකය කිව්වා මේ විදියට. “මම පුංචි කාලේ බෙල්ල උස්සන්නේ නැතුව බිම වාඩිවෙලා නුග පැළේ දල්ල කඩන් කෑවේ.”

ඊළඟට තිත්වටුවා ඔහුට නුග රුක ගැන තිබුණ මතකය කිව්වා මෙහෙම. “ඉස්සර අන්න අර හරියෙ තිබුණා දිරපු නුගයක්. ඒකේ ගෙඩි කාලා මම දවසක් මේ හරියෙ මල පහ කළා. ඒ අතර තිබුණ නුග ඇටයකින් තමයි මේ නුග පැළය හටගත්තේ.”

තිත්වටුවාගේ කතාව අහගෙන හිටපු වඳුරත්, ඇතාත් කිව්වා, “ඔබ තමයි මිත්‍රය අප අතරින් වැඩිමහලු කෙනා. අද සිට අපි ඔබට ගෞරව කරනවා, සත්කාර කරනවා. ඔබේ අවවාද අනුව කටයුතු කරනවා. අපට අවවාද, අනුශාසනා කළ මැන” කියලා.

ඉන්පස්සේ තිත්වටුවා ඔවුන්ට අවවාද කරලා ඔවුන්ව සීලයෙහි පිහිටුවා තමාත් සිල් ගත්තා. ඔවුන් එකිනෙකාට ගෞරව කරමින් ජීවත්වෙලා මරණින් මතු දිව්‍යලෝකයේ උපත ලැබුවා.

“මහණෙනි, තිරිසන් සතුන් පවා වැඩිහිටියන්ට ගෞරව කරමින් වාසය කර තිබෙනවා. අදින් පසු නවක භික්ෂුවක් විසින් වැඩිමහලු භික්ෂූන්ව සෙනසුනෙන් බැහැර නොකළ යුතුයි” යැයි බුදුරජාණන් වහන්සේ වදාළා.

ඒ කාලේ ඇතා ලෙස උපත ලබා සිටියේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ බවත්, වඳුරා ලෙස උපත ලබා සිටියේ සැරියුත් තෙරුන් වහන්සේ බවත්, නුවණැති තිත්වටුවා ලෙස උපත ලබා සිටියේ තමන් වහන්සේ බවත් බුදුරජාණන් වහන්සේ තිත්තිර ජාතක කතාව වදාළමින් භික්ෂූන්ට පැහැදිලි කර දුන්නා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *