සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් පත්‍රය 2022

නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 03 වන දා සහ අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන දා නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 08:41 තත්පර 17ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02:17 තත්පර 17 සිට එදින අපර භාග 03:05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02:17ට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 09:05ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දී කිරි මිශ්‍ර කිරිබතක් ද උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 10:17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිස තෙල් ගෑම
අප්‍රේල් මස 17 වන ඉරිදා පූර්ව භාග 07:04ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 06:51ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි.

පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 11:16ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

සැ.යු.- ඉහත නැකත් වෙලාවන් දැනට සම්මත ඔරලෝසු වෙලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසිනි.

Facebook