රාජකාරිය

රාජකාරිය

“හෙලෝ කාන්ති… අද දවල් මට ගෙදර එන්න බැරි වෙයි… මට හවස තමයි එන්න වෙන්නෙ. අද කොස්තාපල් කෙනෙක් ආවෙ නෑ… එයාගෙ ඩියුටිය හවස… ඒකත් කවර් කරලාම එන්නම්… දුව පන්ති ගිහින් එන්නෙ කීයටද…?”

“ජයේ… දුවට නම් පංති ඉවරවෙන්නෙ 5ට කීවා… එහෙනම් දුවත් එක්කන් එනවද…?”
 
“හා කාන්ති… කොහොමත් මට මේ රාජකාරි නිසා දුවව මග ඇරෙනවනෙ. මං එක්කන් එන්නම්…”
 
මම කොස්තාපල් ජයවර්ධන… පොලිස් සේවා කාලය අවුරුදු 25ක් විතර.. කොයි තරම් ප්‍රමෝෂන් ආවත් ලොක්කන්ගෙ සපත්තු ලෙවකන බල්ලො නිසා අදටත් මං කොස්තාපල් කෙනෙක් විදියට රාජකාරි කරගෙන ඉන්නවා. මට ඉන්නෙ දුවෙක්. දැන් ඉතිං ලොකු ළමයෙක්. සාමාන්‍ය පෙළට පංති යනවා… හොඳට ඉගෙනගන්නවා… ඒ වගේම අමතර පංතිත් හැමදාම වගේ… ඇත්තටම මේ කාලෙ පංති වලට යන වියදම රජයේ රස්සාවක් කලත් ගෙවන්න මදි…
 
දවල්ට කෑමත් කාලා මං කලේ පොඩ්ඩක් එහෙම්මම පොඩි හාන්සියක් දාපු එක. අද නම් මහ ලොකු රාජකාරියකුත් නැහැ… ඒත් එකපාරාටම ටිකකින් මැදිවියේ අම්මෙකුයි තාත්තෙකුයි පොලිසියට ආවා අඬාගෙන…
 
“අනේ රාළහාමි මහත්තයෝ… මගෙ පුතා දවස් තුනකින් ගෙදර ආවෙ නැහැ… දවස් තුනකට කලින් ගෙදරින් ගියෙ පන්ති යන්න කියලා… ඒත් මාත් එක්ක හොදටම රණ්ඩු වෙලා… මං හැම යාලුවෙක්ටම කතා කලා මහත්තයෝ… ඒත් උන්ගෙ ගෙවල් වල ගිහිල්ලා නැහැ…”
 
“හරි හරි… සන්සුන් වෙන්නකො… ඇවිත් වාඩිවෙන්න… දැන් කියන්නකෝ මුලින්ම පුතා ගෙදරින් ගියේ කවද්ද…?”
 
“පළමුදා උදේ මහත්තයෝ…”
 
“කොහෙ යනවා කියලද ගියේ…”
 
“පන්ති යනවා කියලා ගියේ… ඒත් මං එක්ක රණ්ඩු උනා”
 
“මොකටද පුතා අම්මත් එක්ක රණ්ඩු උනේ…?”
 
“රුපියල් 5000ක් ඉල්ලලා… මං ගාව 2000යි තිබ්බෙ සර්… ඒ කොල්ලට පන්ති ගාස්තු දෙන්න… මහත්තයට පඩිය එනකම් එච්චර ලොකු ගානක් තිබුනෙ නැහැ සර්…”
 
“හරි හරි… පුතා එදා මොකද්ද ඇඳන් ගියේ…?”
 
“සුදුපාට ටීෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි සර්…”
 
“පුතා ගියාට පස්සෙම පුතාට කතා කලේ නැද්ද…”
 
“මං කෝල් ගත්තා සර්… ඒත් නම්බර් බිසී…”
 
“පුතාට මොකක් හරි ප්‍රේම සම්බන්ධයක් තිබුනද…?”
 
“තිබුනා සර්… අපේ කටේ බලේටම නැවැත්තුවා කීවා.. ඒත් තියෙනවද දන්නෙ නෑ සර්…”
 
“පුතාගෙ ෆොටෝ එකක් තියෙනවද ළඟ…”
 
“හැඳුනුම්පතේ ෆොටෝ එකක් තියෙනවා සර්…”
 
ඇස් දෙකේ කඳුලු පුරවන් අම්මා පර්ස් එකේ තිබ්බ පුතාගෙ ෆොටෝ එක මගෙ අත උඩින් තිව්වා… පැමිණිල්ල ලියන රාජකාරි ඉවරකරලා අම්මට ගෙදර යන්න කීවෙ දරුවෙක්ගෙ අහිමිවීමෙන් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දුක්වෙන හැටි මට බලන් ඉන්න බැරි නිසා….
 
“කුලේ… එහෙනම් මං ඩියුටි යනවා… පැය දෙක තුනකින් එන්නෙ මං. පොඩ්ඩක් බලපං හොදේ…”
 
“හරි ජයේ.. අද කොහෙද ඩියුටි තියෙන්නෙ…?”
 
“අද කොහොමත් වැව පැත්තෙ තමයි… හවසට දුවව ගන්නත් යන්න තියෙනවා…
මං ගිහින් එන්නම්…”
 
පොතේ අත්සන් කරලා බයික් එකෙන් වැව පැත්තට පිටත් උනා….
👫👫👫👫👫
 
“අද පංති කීයටද ඇරුනෙ සුදු නංගි…”
 
“අද 2ට පංති ඉවරයි මහත්තයෝ… මං ගෙදරට කීවෙ 5ට ඉවර කියලා…”
 
“අපි කොහෙ හරි යමුද…?”
 
“කොහෙද මහත්තයෝ”
 
“නිදහසේ ඉන්න පුලුවන් තැනකට…”
 
“ඉතිං රත්තරං අපි මේ නිදහසේනෙ ඉන්නෙ… තව කොහෙ යන්නද…?”
 
“ඔන්න බලන්නකො. තව චුට්ටකින් පොලීසිය එයි…. අපිව එලවන්න…”
 
“ඒත් මහත්තයෝ… අපි කොහේ යන්නද… අනික මට එහෙම යන්න බැහැ…”
 
“ඔයාට මාව විස්වාස නෑ නේද නංගි… ඔයා මට ඇත්තටම ආදරේ නැහැ නේද…”
 
“ආදරේ වෙනයි අයියෙ… ආදරේ නිසා තමයි ගෙදරටත් බොරු කියලා ඉස්සෙල්ලාම ඔයාව බලන්න ආවෙ… ඒත් ඇයි ඔයා මාව සැක කරන්නෙ…”
 
“හරි හරි… අව්වයි. ඔය කුඩේ ඉහලන්න…”
 
“ආහ්. ඉන්න ටිකක්…”
 
“එන්නකො තුරුලට…”
 
“අනේ අයියෙ… මොනාද කරන්නෙ. මේ මිනිස්සුත් බලන් ඉන්නවා…”
 
“ඉතිං… මං ඉම්බෙ මගෙ කෙල්ලවනෙ…”
 
👫👫👫👫👫👫👫
 
අද නම් පංති දවසක්නෙ… බලාපල්ලකො වැවක් දැකපු නැති සෙනඟක්… මොන එහෙකට ගිනි අවුවෙ තපිනවද මන්දා… අනේ ඉතිං අහිංසක පොඩි පොඩි ජීවිත නේද මේ.. උන්ටත් ඉතිං තහංචි දාන්න බෑනෙ. උනුත් ලොකු ළමයි… මට නිකමට හිතුනා… ඒත් අද පොලිසියට ආපු අම්මලා අඬ අඬ කියපුවා මගෙ කනේ රැව්දෙනවා…
 
හෝව් හෝව්… අර අතන ඉන්නෙ කපල් එකක්… සුදු පාට ටීෂර්ට් එකක් නේද… මටත් පිස්සු… ඒ ළමයා මෙහේ ඉඳීවිද… ගෙවලුත් ලඟපාත… වෙන්න බෑ… ඒත් නිකමට ඒ කොල්ලාම උනොත්… ඔන්න ඔහේ ගිහින් අහනවා… ෆොටෝ එකත් තියෙනවනෙ ළඟ…
 
👫👫👫👫👫👫
 
“මං කීවෙ බොරුද අන්න පොලිසිය වැඩට බැහැලා… තව ටිකකින් මෙහෙටත් එයි…”
 
“අපි ඉතිං වැරැද්දක් කරන්නෑනෙ අයියෙ… බය වෙන්න එපා…”
 
“හම්මට. කවුද යකෝ කුඩේට අනින්නෙ… ඔයා ඔහොම කුඩෙන් වහගෙන ඉන්න… මං බලන්නම්…”
 
“පුතා… මට ඔයාගෙ අයිඩින්ටි එක දෙනවද…?”
 
“ආහ් මෙන්න…”
 
“මොනවා…?”
 
අයිඩින්ටියේ හිටියේ දවල් අම්මයි තාත්තයි ඇවිත් ලතෝනි දිදී හොයපු කොල්ලා… ඒත් ඇඟ පණ නැති උනේ ඒකට නෙවෙයි… හුළගට ගිය කුඩේ යට මල් මල් චීත්ත ගවුම ඇඳන් හිටපු මගේ දුව…. එතනින් එහාට මමත් තාත්තෙක්ද කියලා සිතුනා විතරයි…
 
පහුවදා… මම කොල්ලගෙන් අයිඩින්ටි එක ඉල්ලගන්න ෆොටෝ එකක් මුහුණු පොත පුරා යනකොට එක තැනක දුටිමි පෝස්ටුවක්…
 
“හෙන ගහන්න ඕනි මේ “
කියා…
 
මමත් තාත්තෙක් නොවේද… උඹලා දරුවෝ නෙවේද… ඉගෙනගෙන පෙම් කරපං… වැදගත් විදියට … පෙම් කරපං දවස පුරාම හැමෝගෙම හිත් දිනාගන්න විදියට… කුඩයක් යට මුළු අනාගතේම ගොඩනගන්නෙ නැතුව…
 
“අදහස් ඔබ සතුයි”

ස්තූතියි
උමා ලියයි

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *