ලොකු ලොකු හොටෙල් නැතත් මං කරගෙන යන සාමාන්‍ය හෝටලයට අවශ්‍යය එළවළු මිලට ගන්න මං යන්න පුරුදු වෙලා හිටියෙ සතිපොළට… ඇත්තටම අවශ්‍යය ප්‍රමාණය ගන්න පුළුවන් වීමත්, ලොකු ලොකු බඩමුදලාලිලාගෙ බඩගෝස්තරේ පුරවනවා වෙනුවට පුංචි මිනිහගෙ පොඩි පොඩි ගොඩවල් ටික එකතු කරන් එන මට ලොකු සතුටක් ලබන්න ඒක හොදටම ප්‍රමාණවත්…
අනේ… හොද වැදගත් විදියට ඇඳපු මහත්තයෙක්… මං පලා මිටි ගන්න හැමදාම පුරුදු සීයා ළඟට ආවා…
“මුදලාලි මේ මුගුණුවැන්න මිටියක් කීයද…?”
“එකක් 30යි මහත්තයෝ… අලුත් පලා මිටි ටික… බෙහෙත් ගහලා නැහැ… මමමයි මේවා හදන්නෙ… ගන්න මහත්තයෝ. අලුත් පලා ටික…”
“ම්ම්ම්ම්ම්…. එහෙනම් මට මිටි දෙකක් දෙන්නකො…”
අනේ ඒ සීයා හනිකට අලුත් පලා මිටි දෙකක් ඒ මහත්තයගෙ බෑග් එකට දැම්මා….
“කීයද මුදලාලි…?”
හත්දෙයියනේ… ඒක ඇහුවෙ නිකම් මොන්ටිසෝරි බබෙක් වගේනෙ… 30යි 30යි 60යි කියලා ආපහු කියන්න ඕනිද… ඒ මනුස්සයා තඩි පර්ස් එකත් අතේ තියන් ඇහුවෙ නිකම් මුදල් ඇමති සතේට ගනන් හදනවා වගේ…
“රුපියල් 60යි මහත්තයෝ…”
“ම්ම්ම්ම්… මිටි දෙකක්ම ගත්තනෙ… ඔන්න 50කට දෙන්න මුදලාලි… මං හැම සතියෙම මෙතනින් ගන්න එන්නම්කො… එහෙනම් මෙන්න 50… එන්නම්..”
තූඃ විතරක්… අර වයසක මනුස්සයා හරි අසරණකමකින් මූණ බිමට හරවගෙන රුපියල් 50 අරන් කවරෙ ඇතුලට දාගත්තා… මොන මිනිස්සුද කියලා හිතුනා, මොකද හයිෆයි ගහගෙන ඇවිත් රුපියල් දහයට ඇඹරුනානෙ…. කවුද අප්පා මේ කියලා හිතුනා.. පොලේ ගෝරි දාගන්නෙ මොකටද කියලා කට පියාගෙන හිටියා… මට ඕනි උනේ පලා මිටි 10ක් විතර ගන්න…
“මාමෙ.. මට දෙන්නකො මිටි 10ක්…”
“ඉන්න පුතේ.. ආ මෙන්න… පුතා තමයි මගෙන් පලා මිටි මෙච්චර හරි ගන්නෙ… පුතාට පින් සිද්ධ වෙන්න මං සල්ලි ටිකක් එකතු කරන් ජීවත් වෙනවා…”
“අනේ මාමෙ.. තව එකක් ඉතුරුයි නේද… ඔන්න ඕකත් දාන්න මේකට…”
“හා පුතේ… එහෙනම් මට වේලපහෙන්ම ගෙදර යන්න පුලුවන්… මිටි 10කට සල්ලි දෙන්නකො…”
“අනේ එහෙම ඕනි නෑ මාමෙ.. මේක තියාගන්න…”
මං එහෙම කියලා 350ක් දුන්නා…
“මෙන්න පුතේ ඉතුරු”
එහෙම කියලා මට රුපියල් 20ක් ඉතුරු දුන්නා…
“නෑ මාමෙ. මං හැමදාම මිටි 10ක් ගන්නවා.. ඉතිං අද 11ක් ගත්තනෙ… මට රුපියල් 20ක් කියන්නෙ මහ දෙයක් නෙවෙයි.. ඕක මාමා තියාගන්න… ගිහින් එන්නම් මාමෙ…”
“තුරුණුවන්ගේ සරණයි පුතේ…”
එහෙම කියලා මං ආපහු හෝටලේට ආවා… මගෙ හෝටලේට ළඟින් තිබ්බ අනික් හෝටලෙත් අද වහලා… ඉතිං අද ටිකක් කාර්යබහුල වැඩියි… මගේ යටතේ වැඩකරන මල්ලිලා තුන්දෙනා හෝ ගාලා වැඩ… මං ඉතිං කැෂියර් එකේ….
ඔහොම ඉද්දි පුරුදු මූණක් එක්ක පවුලක් ආවා හෝටලේට…
“මල්ලි… මික්ස් ෆුල් රයිස් 2ක් ප්ලේට් 3කට දාන්න… එතකම් බොන්න මොනවහරි ගේන්න..”
ඔව්… ඒ හවස පොළේදි පලා මිටි ගත්තු මනුස්සයා… කොල්ලො 3න් දෙනා වැඩ නිසා කට්ටිය එච්චර නැති නිසාත් මමම ගිහින් එයාලට සර්ව් කලා…
මොනවා උනත් උසස් පැළැන්තියක පවුලක්.. ආපු වාහනෙත් මිල අධික එකක්… එයාගෙ නෝනයි පුතයි තමයි ඇවිත් හිටියෙ… එයාලා කන අතරෙ තව දෙතුන් දෙනෙක් ආවත් ඒ ගැනත් මං හොයලා බැලුවා… අර කට්ටිය කාලා ඉවර වෙලාද කොහෙත් මට අතින් කතා කරනවා..
“මල්ලි බිල ගේන්න…”
“මෙන්න සර්.. ඩෙසර්ට් වලටත් එක්ක බිල 940යි..”
“ආහ් හරි… මෙ..න්…න…. සල්ලි…”
බිල උඩින් රුපියල් 1000ක් තිබ්බ මිනිහා යන්න කියලා නැගිට්ටා… මං ඉක්මනින් ඉතුරු දෙන්න ලාච්චුවට ගියා… ඒත් ඒ මනුස්සයා යන්නයි හදන්නෙ… මං විස්සෙ කොළ තුනකින් ඉතුරු රුපියල් හැට ඒ මනුස්සයට දුන්නා…
“සර්… ඉතුරු…”
“හරි මල්ලි… ඒක හරි… අවුලක් නෑ… තියාගන්න…”
එහෙම කියලා ඒ මනුස්සයා යන්න හැදුවා…
“සර්… පොඩ්ඩක් ඉන්න… සර්… මේ ටිප් එක මට වෙන කෙනෙක් දුන්නනම් මං ගන්නවා මොකද ඒ මනුස්සයා හිත සතුටින් දෙන දේනෙ කියලා… ඒත් අද සර් කරපු දේ දැක්කට පස්සෙ සර්ගෙන් ටිප් එක සතයක්වත් එපා…”
“මොකද්ද මල්ලි කියන්නෙ…?”
“සර්… මට මේ ඉතුරු එපා… සර්ට පුලුවන් නම් පලා ගත්ත මනුස්සයට මේ රුපියල් 60ම දීලා ලබන සතියෙ පොළෙන් එක පලා මිටියක් අරගන්න… මොකද ටිප් එකක් ඕනි වෙන්නෙ අපි වගේ ස්ථාවරේක ඉන්න මිනිහෙකුට නෙවෙයි සර්… අර වගේ දවසට කීයක් හරි හොයාගන්න මනුස්සයෙකුට…”
තේරුම් ගත්තද නැද්ද දන්නෙ නැහැ… ඒත් ඒ මනුස්සයා රුපියල් 60ත් අරන් බිම බලාන යන්න ගියා…
මිනිස්සු කියනෙ හරි පුදුම ජාතියක්… කැපීපෙනෙන්න කැමති ජාතියක්… ඒවගේම තමන්ගෙ වත්පොහොසත් කම් වලින් දුප්පතා ඉදිරියේ වීරකම් පෙන්වන්න කැමති ජාතියක්…
උමේෂා පතිරණ – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය