මිනීමරු යාලුවා..

මිනීමරු යාලුවා...

රස්සාවක් සොයා දහ අත දුවනකොට
අලුගෝසුවෙක් ඕනෑ යැයි කියන කොට
පව්කාරයින් වනසන යම පල්ලෙකුට
දෙවරක් නොසිතා ලැබුනා රස්සාව මට

තුන් මාසයක් දඟගෙයි නිති සැරි සැරුවා
නිතරම වාගෙ පුහුණුව මම එහි ලැබුවා
තව දින දෙකයි එල්ලන්නට මිනිමරුවා
නොකියූ නමුත් මගෙ සිත සන්සුන් නැතුවා

එල්ලුම් ගහේ සවිශක්තිය බලනකොට
මුහුණ වසා මිනි මරුවා ගේනකොට
අන්තිම හුස්ම වා තලයට හෙළනකොට
දැනුනේ දුකකි මිනිමරුවෙක් මැරෙනකොට

දරඳඬු අතින් ගිලිහුණු කොල කැබැල්ලකී
හැම නෙත් මුලාකොට එය අහුලා ගතිමී
“කොහොමද ජයේ” යැයි අමතා ලියපු සැටී
“මම කරුණාදාස” උඹෙ පන්තියෙ එකට සිටී

මං උඹ දැක්කෙ හිරගෙයි ඇවිදපු හන්දා
මිනිමරුවෙක් උනා නොකරම බැරි හින්දා
නිතරම හිතුනා ළඟ සිටියානම් නන්දා
එහෙනම් මෙහෙම වෙන්නේ නෑ අනෙ මන්දා

නන්දා ගියේ ගෙට පල්ලෙහා ගල් කොරියේ
මං ගොවියානෙ නිතරම සිටි වෙල් එළියේ
ලොකු මුදලාලි නිතරම වද දුන් සැටියේ
නන්දා වහ බිවුවෙ නොකරම බැරි සැටියේ

නන්දා ලියූ අවසන් ලිපියට කිපිලා
මරණට ගියේ ලොකු මුදලාලියා කපලා
යනකොට ඇවිත් පොලිසියෙ ලොකු මහත්තෙලා
අච්චු කලා මං මිනිමරුවෙක් කියලා

බල පුලුවන් කාරකම් නීතියට යටයි
මිල මුදලුත් නැතුව අසරණ වුනේ මමයි
මිනිමරුවෙක් ලෙසට හංවඩු ගැහුනෙ මටයි
නීතියෙ දෙවඟනත් ඇස් වහගෙන හිටියයි

හිත ගැස්සුනේ උඹෙ රූපය දුටුව විටයි
එළියට ගත්තෙ හංගපු කොලයයි පෑනයි
උඹ කියවන්නෙ මගෙ අවසන් ඉල්ලීමයි
“පොඩ්ඩක් ජයේ බලපං හාමතේ ළමයි”

– උමේෂා පතිරණ-

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *