විශාල මහනුවර තුන්බිය ගැන පන්සලේ හාමුදුරුවො කියද්දි ඒ කාලේ අපි අහගෙන හිටියේ කටවල් ඇරගෙන. ඒක මොනවගේ දෙයක් වෙනවා ඇත්ද කියලා හිතුවා. අහම්බෙන් ෆොරීන් ෆිල්ම් එකක සොම්බියෙක් පෙන්නුවොත් ඒ කාලේ විශාලා මහනුවර අමනුෂ්‍ය බයෙන් මිනිස්සු ඉන්න ඇත්තේ මේ වගේ නේද කියලා හිතුණා…
ඊටපස්සේ මෑතකාලීනව කොවිඩ් ආවා. අපේ එදිනෙදා වැඩකටයුතු හැමදේම වෙනස් වුණා. රෝග බිය කියන දේ ඇට ලේ මස් නහරවලට කාවැදුණා. තමන්ටත් වඩා තමන්ගේ සමීපතමයන් ගැන බය හිතුණා. කොවිඩ් මරණ එකක්වත් තමන්ගේ ඥාතීන්ට දකින්නවත් අවස්ථාව නැතිව අවසන් කටයුතු කෙරුණා. රෝග බිය එක්ක දුර්භික්ෂය හරි හරියට අපිව හොයාගෙන ආවා. ගොඩක් මිනිස්සු හිටියේ බඩගින්නේ. කන්න දෙයක් හොයාගන්න එළියට බැහැගන්න බැරිව මිනිස්සු අසරණ වුණා. දවස් ගණන් බඩගින්නේ වේලුණා. දරුවො බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න වුණා. ව්‍යාපාර කඩාගෙන වැටුණා, රස්සාවල් නැතිවුණා…ෆිල්ම් එකකින් නෙවෙයි; හැබෑ ජීවිතේදිම අපි මේ හැමදේම අත්වින්දා…
රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය බිය නිසා බුදුහාමුදුරුවෝ ගිහින් රතන සූත්‍රය දේශනා කළා. ඒත් දැන් අපිට පිරිත් කියන්න එන්නේ කවුද?
හෝ හෝ… නවතින්න… දැන් හොඳ හුස්මක් ගන්න… දැන් නේද වැඩ ඇරිලා ආවේ…? එනකම් කල්පනා කළේ ඔයදේවල් කියලා මම දන්නවා. අපි කවුරුත් මේ දවස්වල පොදුවේ හිතන දේ තමයි ඔය… පුද්ගලික දෙයක් හිතන්න මුලපුරද්දිම මේ දෙවල් ඔලුවට එනවා….
මේ දවස්වල දැනෙන මහන්සිය වෙනදට වැඩිය වැඩියි… ඒකට පරිසරේ තියෙන අධික රස්නය හේතු වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පරිසරේ තියෙන අවිනිශ්විත තත්ත්වය හේතු වෙන්නත් පුළුවන්. අපි තාම ඉන්නේ එළියට බහින්න බයෙන්. යාලුවෙක්ගේ, නෑදෑයෙක්ගේ ගෙදරකට තියා අසල්වැසියෙක්ගේ ගෙදරකට පවා යන්න බැරිතරම් බයකින්. ඉතින් මේ වගේ දේවල්වලින් ඔලුව පිරිලා තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ වගේ දේකින් ඔලුව පුරවගෙන නින්දට යන එක නම් ඒ තරම් සුදුසු නැහැ.
මේ වගේ කාලවලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඒක ඔයාටවත් මටවත් පුද්ගලික දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන අනවශ්‍ය විදියට හිතලා හිත අවුල් කරගන්න එක තේරුමක් නැති වැඩක්. වොෂ් දාලා, කෑමකාලා, ගෙදර අය එක්ක කතාබහ කරලා නින්දට යන්න ඇඳට එද්දි අපේ මනස තියෙන්න ඕන පන්සලක් වගේ සංවරව… හිත එහෙමෙහෙ යනවනම් කරන්න තියෙන හොඳම දේ තමන්ගේ ආගම ඇඳේ ඉඳලම සිහි කරන එක. ඉන්පස්සේ ඔයා අද දවසේ කරපු එක හොඳ වැඩක් සිහියට ගන්න.
ඒක බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්. කැන්ටිමේ කෑම නැති කෙනෙක් එක්ක දවල් කෑම එක ෂෙයා කරගත්තා වෙන්න පුළුවන්, කපල් එකකට සතුටින් අත් අල්ලගෙන වාඩිවෙලා යන්න ඔයා ඉඳගෙන හිටිය තැන පරිත්‍යාග කළා වෙන්න පුළුවන්, මහමඟ ඉන්න බලුපැටව් ටිකකට බිස්කට් පැකට් එකක් කඩලා කන්න දුන්නා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අඬ අඬ ඉන්න යාලුවෙක්ගේ හිතට සැනසීමක් එන දෙයක් කිව්වා වෙන්න පුළුවන්….
ඉන්න, දැන් ඔයා ඉන්නේ කොහෙද? මේ ටික කරද්දි නම් ඔයා මේ වෙලාවේ ඉන්න ඕන ඔයාගේ නිදන කාමරේ. ඔයාගේ අැඳේ හරි පැදුරේ හරි. එතැනනේ ඔයා රිලැක්ස් වෙන හොඳම තැන… ඒ දේවල් මතක් කරද්දි ඔයාගේ හැම නහරයක් ගානෙම ලේ ගමන් කරන්නේ ඒ සතුටත් කරපින්නගෙන කියලා ඔයාට දැනේවි. ඇස් පියාගත්තම බොහොම සුවදායක හැඟීමකින් හිත පිරිලා ඒක මුළු ශරීරය පුරාම ගමන් කරාවි. සැනසීමක් දැනේවි. වෙන කෙනෙක්ට දුන්නු සැනසීම අාශිර්වාද වෙලා ඔයා වටා තියෙනවා කියන විශ්වාසය ඇතිවේවි. හෙට දවස ප්‍රබෝධයෙන් ඇහැරෙන්න ඕන බලය සහ ජවය ඒ සැනසිලිදායක නින්දේ තියේවි… රටේම ප්‍රශ්න කරපින්නගෙන දවස අවසන් කරන්නෙපා. සතුට සහ සැනසීම උපයගන්න ඕන අපි අපිම තමයි… එහෙනම් සුවදායක රාත්‍රියක්….