Shakthimath daruwek sathutin piripawlak

ශක්තිමත් දරුවෙක් – සතුටින් පිරි පවුලක්

දරුවෙකු මෙලොවට බිහිවන විට ඔවුන්ගේ මොළය හිස් කඩදාසියක් වැනිය. වයසින් වැඩෙත්ම ලබන අත්දැකීම් දරුවන්ගේ චර්යාවට හේතුවේ. වර්තමානයේ ශ්‍රී ලoකාව තුළ උග්‍ර සමාජ ගැටලුවක් වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දරුවන්ගේ මානසික හා කායික යහපැවැත්මට සෘජුවම බලපෑම් කරයි.

පවුලේ දියුණුවත්, පවුලේ සාමාජිකයන් අතර ශක්තිමත් සබඳතාවක් පැවතීමටත් මව හා පියාගේ හැසිරීම බලපායි. දෙමාපියන් නිතර කලහකාරී නම් ඉන් දරුවන්ගේ ජීවිතවලට සෘණාත්මක බලපෑමක් වේ.

ස්වභාවයෙන්ම දරුවෙක් දෙමාපියන් සමග ආදරයෙන් කල් ගෙවීමට ප්‍රිය කරයි. එම මානසික තෘප්තිය හා සුරක්ෂිතභාවය දරුවෙකුගේ මනස නිරවුල්ව පවත්වා ගැනීමට වැදගත්ය. අධ්‍යාපනයෙන් ඉදිරියට යාමටත්, ධනාත්මක ආකල්ප මෙන්ම පෞරුෂය ගොඩනැගීමටත්, යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාමටත් දරුවෙකුට ආභාසය ලැබෙන්නේ පවුලෙනි.

දරුවන් ඉදිරියේ දෙමාපියන් ආවේගශීලිව හැසිරීම දරුවෙකුගේ ළමාවිය අඳුරුවීමට හේතුවකි. ඉන් වන බලපෑම් දරුවන්ගේ මුළු ජීවිතකාලය පුරාම පවතින බව දෙමාපියන් දැනුවත් වීම වැදගත්ය.

ප්‍රචණ්ඩත්වය අත්විඳි දරුවන් එයට ප්‍රතිචාර දක්වන ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. හේතුව සමහර දරුවන් අතිසංවේදී වීමයි. ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී දරුවන්ගේ සිතේ දෙමාපියන් පිළිබඳව තිබූ ආදරය, ගෞරවය, විශ්වාසය පලුදුවෙයි. ඊළඟ ප්‍රචණ්ඩකාරී සිදුවීම කවදා සිදුවේ දැයි දරුවන් බියෙන් පසුවෙයි. එය දරුවන්ගේ ආත්මාභිමානයට හානි කරයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම නිසා දරුවන්ට ඇති විය හැකි කායික, මානසික හා සමාජීය ගැටලු කිහිපයක් පහත පරිදි වේ.

කායික ගැටලු

  • කථන ආබාධ මතු වීම.
  • නිතර නින්දෙන් ඇඳ තෙමීම.
  • නිතරම අසනීප තත්ත්වයන් ඇති වීම.
  • සෑමවිටම තිගැස්සෙනසුලු වීම හා නිතරම බියෙන් සිටීම.
  • අවධානය යොමු කිරීමේ ගැටලු මතු වීම.
  • ඉගෙනීමෙහි දුර්වලතා ඇති වීම.

මානසික ගැටලු

  • ආතති තත්ත්වයන් ඇතිවීම.
  • ළමා විෂාදය ආදී මානසික රෝගී තත්ත්වයන් මතු වීම.
  • පෞරුෂ අක්‍රමිකතා ඇති වීම.
  • නින්ද බාධා වීම හා නිතර හිසේ කැක්කුම ඇතිවීම.
  • මතක ශක්තිය අවම වීම හා අලස වීම.
  • අධික ලෙස ලැජ්ජාශීලී වීම හා සමාජ භීතිකාව ඇති වීම.

සමාජීය ගැටලු

  • හිංසාකාරී හැසිරීම් අසාමාන්‍ය ලෙස වර්ධනය වීම.
  • නීති විරෝධී ක්‍රියාකාරකම්වල නියැලීමේ අවදානම.
  • මත්පැන් හා මත්ද්‍රව්‍යවලට යොමුවීම.
  • යහපත් සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට අපොහොසත් වීම.
  • නිතර කලකිරීමෙන් ආත්ම තෘප්තියක් නොමැතිව කාලය ගත කිරීම.
  • මිතුරු සබඳතා අවම වීම.
  • සමාජ අපවාදයන්ට ලක්වීම.
  • හිංසාකාරී හැසිරීම්වල අහිතකර ආභාසය නිසා ඔවුන්ගේ අනාගත පවුල් ජීවිතවල ගැටලුමතුවීම.
  • කලහකාරීත්වය නිසා නිතර අඬදබරවලට යොමු වීම.

ප්‍රචණ්ඩකාරී හැසිරීමකට නිරාවරණය වූ විට එය දරුවන්ට අමතක නොවන නමුත් එම අත්දැකීම්වල අහිතකර බලපෑම් පාලනය කරගෙන සෞඛ්‍යවත් ජීවන රටාවකට හුරු විය හැකි ආකාරය දරුවාට කියා දිය හැක. සිය නිවස තුළ සිදුවන ගෘහස්ථ හිංසනය නිසා පීඩා විඳින දරුවෙකුට උදව් කළ හැකි හොඳම ක්‍රම වන්නේ,

  • ආරක්ෂාකාරී සුරක්ෂිත වටපිටාවක හැඟීම දැනෙන්නට සැලැස්වීම.
  • ඔවුන්ගේ බිය පිළිබඳ විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීම.
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවීම ඔවුන්ගේ වරදක් නොවන බව ඔවුන්ට පැහැදිලි කර දීම.
  • සෞඛ්‍යසම්පන්න සබඳතාවල වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීම.
  • අවශ්‍ය උපකාරක සේවාවලට යොමු කිරීම. (වෛද්‍ය ප්‍රතිකාර, මනෝ උපදේශනය)

දරුවාගේ මනස සුරක්ෂිතවීමට නම් දෙමාපියන් එකිනෙකාට ගරු කිරීම, ආදරය කිරීම වැදගත්ය. ඔබගේ දරුවන්ට සුරක්ෂිත වටපිටාවක් නිවසේ නිර්මාණය කිරීමට ඔබේ කෝපය පාලනය කරගැනීම, කලහකාරී හැසිරීම් අවම කිරීම කළ යුතුය. ඔබේ දරුවන්ගේ ජීවිත විනාශවීමට ඉඩ නොදීමට නම් ඔවුන් සමග විවෘත සංවාදයක යෙදෙන්න. එසේත් නොමැතිනම් මනෝ උපදේශනයට යොමු වීම වැදගත් වේ.

බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *