එක් වූ දෑඟිලි වෙන් නොවන්නට නම්…

සමාජයක කුඩාම ඒකකය ලෙස සැලකෙන්නේ පවුලයි. ඒ නිසා පවුල තුළ වන සාමකාමීත්වය හෝ ප්‍රචණ්ඩකාරීත්වය රටක, සමාජයක සාමකාමීත්වයට හෝ ප්‍රචණ්ඩකාරීත්වයට සෘජුව බලපාන ආකාරය පිළිබඳ ඔබට දැනටමත් පුළුල් අවබෝධයක් ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව නීතිමය අර්ථකථනයක් සැපයීමේදී එය සරලව මෙසේ දැක්විය හැකිය. “ඥාතිත්වය මත පදනම්ව සිදුවන හිංසනයක් හෝ ප්‍රචණ්ඩකාරීත්වයක්. ඒ වගේම මෙය නිවස තුළදී මෙන්ම නිවස පිටතදී ද සිදුවිය හැකිය. නෛතික අර්ථකථන තුළ ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවිය හැකි ආකාර පැහැදිලි කර දක්වයි. ඒ කායික, මානසික, ලිංගික, ආර්ථික හා සමාජීය වශයෙනි.
 
කායික ප්‍රචණ්ඩත්වය ලෙස හඳුන්වන්නේ ශාරීරිකව පීඩාවට පත්කරන හිංසනයන්ය. මානසික වශයෙන් අහිතකර ලෙස බලපාන ආකාරයට සිදුවන බැණ වැදීම්, අපහාස කිරීම්, නොසලකා හැරීම් ආදී සියල්ල මානසික ප්‍රචණ්ඩත්වය යටතට ගොනු කළ හැකිය. මුදල් හෝ ශ්‍රමය පදනම් කරගත් ආර්ථික අයිතීන් උල්ලංඝනය වන ආකාරයට සිදු වන ක්‍රියාවන් ආර්ථික ප්‍රචණ්ඩත්වය ලෙස නම් කළ හැකිය.
 
ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව වඩාත් පුළුල්ව සාකච්ඡා කිරීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු. විවාහයකදී සහකරුවන් දෙදෙනකුට සිය පවුල් ජීවිතය තුළ ලිංගික සම්බන්ධතාවක් පවත්වා ගැනීමට අවශ්‍ය නීතිමය අවසරය ලැබේ. නමුත් ඒ සඳහා සියලු දෙනාටම ඇත්තේ අයිතිවාසිකම් මත සුරක්ෂිත වූ වගකීම් සමුදායකි. එහිදී අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය, අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ලිංගික සම්බන්ධතාවක් පවත්වා ගැනීම සහකරුවන්ගෙන් අපේක්ෂා කරයි. විවාහයකට පරිබාහිරව වුව ද සහකරුවන් අතර ලිංගික සම්බන්ධතා ඇති විය හැකිය. නමුත් ඒ සෑම සම්බන්ධතාවකදීම තම සහකරුගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සම්බන්ධතාව පවත්වා ගැනීම වඩාත් යෝග්‍යය වේ. එසේම අපහසුතාව හෝ අකමැත්ත මත පදනම්ව ලිංගික සම්බන්ධතාවක් ප්‍රතික්ෂේප කිරීමට දෙදෙනාටම අයිතියක් ඇත. එවැනි අවස්ථාවලදී පහරදීම, ලිංගික හිංසා සිදුකිරීම සහකරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
 
සමාජීය හිංසනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, පනවනු ලබන සමාජීය සීමා, සමාජීය අවස්ථාවන් අහිමි කිරීම, සමාජයෙන් හුදෙකලා කර තැබීම සුලබව දැකිය හැකිය. එහිදී සිය දෙමව්පියන්, මිතුරු මිතුරියන් ආදීන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට බාධා කිරීම, රැකියා අවස්ථාවන් අහිමි කිරීම හෝ සීමා කිරීම උදාහරණ ලෙස දැක්විය හැක.
 
කාන්තාවන් සහ දරුවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන ගොදුරක් බවට පත් වී ඇත. පියා හෝ ස්වාමිපුරුෂයා විසින් සිදුකරන ප්‍රචණ්ඩත්වය නිසා දරුවන්ට සහ කාන්තාවන්ට නිවසින් පිට අනාරක්ෂිතව රාත්‍රීන් පවා ගත කිරීමට සිදුවීම, ඒ නිසා ඔවුන් රැකියාවලට, පාසල් යාම ආදියට සිදු වන අහිතකර බලපෑම, සමාජයෙන් සිදුවන හිරිහැර, හුදෙකලා කිරීම්, නොසලකාහැරීම් ආදිය ගෘහස්ථ හිංසනයෙහි තවත් අහිතකර ප්‍රතිඵලයන්ය. කාන්තාවන් බොහෝ පිරිසක් පුරුදු වී සිටින්නේ හැකිතාක් ප්‍රචණ්ඩත්වය ඉවසා දරා සිටීමටයි. ඒ ආකාරයට ප්‍රචණ්ඩත්වය ඉවසා දරාසිටීම ශාරීරික මෙන්ම මානසික රෝගාබාධයන්ට ද ප්‍රධාන හේතුවකි.
 
ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පාලනය කිරීම සඳහා, “2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත” ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇත. එම පනත තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන සියලුම වින්දිතයන්ට වයස, ජන වර්ගය, රැකියාව, ප්‍රදේශය ආදී වූ කිසිදු සාධකයක් නොසලකා හරිමින් සාධාරණය ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්ගත වේ.
 
බ්‍රැන්ඩික්ස් මනෝ උපදේශන අංශය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *