කවියත් මිතුරියක් අප සිත සනසවනා

කවියකට පුළුවන් පුද්ගල හදවතක් තුළ වෙනසක් ඇති කරවන්න. එලෙස සිතක් තුළ වෙනසක් ඇති කළ හැකි, මනසට සැනසීමක් ගෙන දෙන කවිය කොහොමද අපේ ජීවිත වෙනස් කරන මාධ්‍යයක් වෙන්නේ කියන එක පිළිබඳවයි මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහන තුළින් කතා වුණේ. ඒ ගැන කියන්න ‘පිබිදුණු දිවියක්’ වැඩසටහන සමග දොඩමලු වුණේ බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මනෝ උපදේශිකා රොෂානි බණ්ඩාර මහත්මිය.

“කවියට විවිධ අර්ථකථනය දෙන්න පුළුවන්. අපේ ජීවිතේ සමහර වෙලාවට අපිවම මුණ ගැහෙන තැනක් විදියට කවිය හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ තියෙන දුක, වේදනාව, විරහව, ප්‍රතික්ෂේප වීම වගේ හැමදෙයක්ම එකතුවෙලා ලියවුණු කවි තියෙනවා. කවිය රස විඳින්න පුළුවන් පුද්ගලයා සංවේදී හදවතක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්.

සමහර සිදුවීම් සම්බන්ධ සිතුවිලි නිර්මාණශීලීව කවියකට හරවන්න පුළුවන් පුද්ගලයා තමා තුළම හික්මීමක් ඇති කරගන්නවා. ඒ පුද්ගලයා ඒ තුළින් ලොකු සැනසීමක් ලබනව වෙන්නත් පුළුවන්. තරහක්, ක්‍රෝධයක් වගේ සිතුවිල්ලක් තමන්ට පහළ වෙන වෙලාවක ඒ ගැන ලියන්න පුළුවන් නම් ආපස්සට හැරිලා ඒ දේවල් කියෙව්වොත් හිතෙයි “ඇයි මට මේ වගේ සිතුවිල්ලක් පහළ වුණේ?” කියලා. මේ විදියට අපිට අපිවම වෙනස් කරගන්න පුළුවන් මාධ්‍යයක් විදියට කවිය යොදාගන්න පුළුවන්. අපි ළඟට උපදෙස් ගන්න එන අය වුණත් “මම මේ සිද්ධිය වුණ වෙලාවේ මේ කවිය ලිව්වේ” කියලා ගෙනැත් පෙන්නනවා. ඒ නිසා හිතට සැහැල්ලුවක් ලබා ගන්න පුළුවන් මාධ්‍යයක් විදියටත් කවිය පාවිච්චි වෙනවා කියලා කියන්න පුළුවන්.

හොඳ නිර්මාණකරුවන් බිහි වෙන්නත් අත්දැකීම්, තමන් අත්විඳින දේවල් මුල් වෙනවා. අපේ ජීවිතේට සතුට වගේම දුක එනවා, ජයග්‍රහණයන් වගේම පරාජයන් එනවා, පිළිගැනීම් වගේම ප්‍රතික්ෂේපවීම් එනවා. මේ හැමදේම සමව දරාගෙන, මනස ප්‍රබල කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් සාහිත්‍යයට, කවියට ලැදි කෙනාට ඒක ලොකු රුකුලක්.

කවියට, සාහිත්‍යයට ආදරය කරන කෙනා, ගීතයක් රස විඳින කෙනා සමහර වෙලාවට ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය, තව කෙනෙකුට නිර්ලෝභීව ආදරය කරන විදිය වැඩි වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් ආවම තව කෙනෙක්ව තේරුම් ගැනීමේ හැකියාව කවිය ඇසුරු කරන පුද්ගලයා තුළ වැඩියි.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *