එකමුතුකමේ අගය

සියලු දෙනා සමග සමගිව, එකමුතුව කටයුතු කරනවා නම් තමයි අපි වගේම සමාජයේත් දියුණුවක් දකින්න පුළුවන්. නමුත් අපි හැමදේටම වාද විවාද කරගෙන අනිත් අය එක්ක අසමගියෙන් නම් ඉන්නේ අපි තුළත්, සමාජය තුළත් පිරිහීමක් මිස දියුණුවක් නම් දකින්න ලැබෙන්නෙ නැහැ. සම්මෝදමාන ජාතක කතාවෙන් කියවෙන්නේ සමගිව, එකමුතුව ජීවත්වීමේ වටිනාකම ගැන.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩවසන කාලයේ ශාක්‍ය වංශිකයන් සහ කෝලිය වංශිකයන් අතර ගැටුමක් හටගෙන තිබුණා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය සහ කෝලිය වංශිකයන් අමතා සමගිව සිටීමේ වටිනාකම ගැන වදාළ ජාතක කතාව තමයි සම්මෝදමාන ජාතක කතාව.

ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. මේ කාලයේ අප බෝධිසත්ත්වයෝ වටු කුරුල්ලෙක් ලෙස ඉපදිලා හිටියේ. හොඳින් වැඩුණු ඒ බෝසත් වටු කුරුල්ලා දහස් ගණන් වටු කුරුල්ලන්ට නායකත්වය දෙමින් කැලයේ වාසය කළා.

ඔය අතරෙ ඒ පළාතේ හිටිය කුරුලු වැද්දෙක් වටු කුරුල්ලන් දඩයම් කරන්න උපායක් යෙදුවා. ඔහු කළේ වටු කුරුල්ලන් ඉන්න පැත්තට ගිහින් වටු කුරුල්ලන්ගේ හඬින් කෑගහන එක. එතකොට ඒ සද්දෙ ඇහිලා වටු කුරුල්ලෝ ඒ තැනට එකතු වෙනවා. එහෙම එකතු වුණ වටු කුරුල්ලන් මතට කුරුලු වැද්දා දැලක් දාලා වටු කුරුල්ලො ටික එකතු කරගෙන ගිහින් උන්ව විකුණනවා. මේ වැඩේ දිගින් දිගටම වෙන්න ගත්තා. වටු කුරුල්ලන් පිරිසේ හිටිය ගොඩක් කුරුල්ලෝ කුරුලු වැද්දගේ උපාය නිසා විනාශවෙලා ගියා.

දවසක් බෝසත් වටු කුරුල්ලා සියලු වටු කුරුල්ලන් කැඳවලා මේ ගැන සාකච්ඡා කළා.

“අපේ කුරුලු රංචුවේ ගොඩක් අය වැද්දගෙ උපාය නිසා විනාශ වුණා. මම මේකට උපායක් කල්පනා කළා. අද ඉඳලා අපි ඔක්කොම එකමුතුව මේ වැඩේ කරන්න ඕන. වැද්දා ඇවිත් දැල දැම්මට පස්සේ ඒකට අහුවෙන හැමෝම එකතුවෙලා දැල් සිදුරු අතරින් හිස දමා දැල ඔසවාගෙන පියාඹන්න ඕන. ඊට පස්සෙ දුරකට ගිහින් කටු ළැහැබකට පාත් වෙන්න. ඊට පස්සෙ දැලට යටින් පියාඹලා යන්න පුළුවන්නේ.” ඒ අදහසට හැමෝම එකඟ වුණා.

ඊළඟ දවසෙ ඉඳලා කුරුලු වැද්දා දැල දැම්මම වටු කුරුල්ලෝ එකමුතුව දැල ඔසවාගෙන පියාඹලා බේරිලා ගියා. දවස් ගණනාවක් වටු කුරුල්ලෝ මේ විදියට සමගියෙන් දැල ඔසවාගෙන පියාඹලා ගිය නිසා කුරුලු වැද්දට හිස් අතින් ගෙදර යන්න වුණා. මේ ගැන කෝප වුණු ඔහුගේ බිරිඳ ඔහුට බැණ වැදුණා. ඒ මොහොතේ කුරුලු වැද්දා තම බිරිඳට මෙහෙම කිව්වා.

“උන් ඔක්කොම මේ දවස්වල සමගිවෙලා ඉන්නේ. හැමෝම දැල උස්සගෙන පියාඹනවා. ඒත් ඔය සමගිය වැඩි කාලයක් තියෙන්නෙ නැහැ. උන් අසමගි වුණ දවසට මම ඇති තරම් කුරුල්ලො ගෙනැත් දෙන්නම්.”

කුරුලු වැද්දා කිව්වා වගේම වටු කුරුල්ලන්ට සමගියෙන් ඉන්න පුළුවන් වුණේ ටික දවසයි. දවසක් එක් වටු කුරුල්ලෙක්ගේ පාදය තවත් වටු කුරුල්ලෙක්ගේ හිසේ වැදුණ නිසා ඒකට වටු කුරුල්ලෝ දෙන්නා අතර බහින්බස් වීමක් වුණා. මේ බහින්බස් වීම විශාල රණ්ඩුවක් බවට පත්වෙලා වටු කුරුල්ලෝ වාද කරගත්තා. “අපි නැතුව දැල උස්සගෙන ගිහින් බේරෙන හැටි බලමුකෝ..” මේ විදියට වටු කුරුල්ලන් බහින්බස් වෙන්න ගත්තා. තත්ත්වය එතරම් හොඳ නැහැ කියලා තේරුම්ගත්ත බෝසත් වටු කුරුල්ලා සිය අදහසට එකඟ වටු කුරුල්ලන් සමග ඈත පෙදෙසකට පියාඹලා ගියා.

මේ සිදුවීමෙන් පසුවත් කුරුලු වැද්දා ඇවිත් වෙනදා වගේම වටු කුරුලු හඬින් ශබ්ද කළා. වටු කුරුල්ලන් රැස් වුණාම ඔහු දැල දැම්මා. ඒත් එදා නම් වටු කුරුල්ලෝ වෙනදා වගේ සමගියෙන් දැල ඔසවාගෙන පියාඹලා ගියේ නැහැ. වටු කුරුල්ලන් එතැනදිත් රණ්ඩු කළා. අවසානයේ කුරුලු වැද්දා දැලට හසු වුණ කුරුල්ලෝ ඔක්කොම මල්ලක දාගෙන අරන් ගියා.

වටු කුරුල්ලන්ට අත් වූ ඉරණම ගැන වදාළමින් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය සහ කෝලිය වංශිකයන්ට එකමුතුව වාසය කිරීමේ අගය වටහා දුන්නා. එදා වාද කරමින් වටු කුරුල්ලන් අතර සමගිය බිඳ දැමූ වටු කුරුල්ලා දේවදත්ත බවත් වටු කුරුල්ලන් ආරක්ෂා කරමින් ඔවුන්ට නායකත්වය සැපයූ වටු කුරුල්ලා තමන් වහන්සේ බවත් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ශාක්‍ය සහ කෝලිය වංශිකයන්ට වදාළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *