පිබිදුණු අනාගතයකට නැණ පහන් දල්වන බ්‍රැන්ඩික්ස්

සෑම වසරකම ජනවාරි 24 වන දා තමයි ජාත්‍යන්තර අධ්‍යාපන දිනය සමරනු ලබන්නේ. අධ්‍යාපනයේ වැදගත්කම විවිධ තේමාවන් ඔස්සේ සෑම වසරකම සමරනවා වගේම ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය ද අධ්‍යාපනයේ වටිනාකම හොඳින්ම වටහා ගත් ආයතනයක් ලෙස වසර ගණනාවක් පුරා සිය සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙමින් ඔවුන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියාත්මක වන අධ්‍යාපනික වැඩසටහන් තමයි රන්දරු තිළිණ, රන්දරු ශිෂ්‍යත්ව, රන්දරු අබිසෙස්, ශිල්ප සහ P.A.C.E. වැනි වැඩසටහන්. මෙම වැඩසටහන් මගින් මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

‘රන්දරු තිළිණ’ වැඩසටහන මගින් සිදු කෙරෙන්නේ ජනවාරි මාසයෙන් ආරම්භ වන නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ට ලබා දීමයි. පෙර පාසල් මට්ටමේ සිට 5 ශ්‍රේණිය දක්වා වන දරු දැරියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන තමයි බ්‍රැන්ඩික්ස් ආයතනය සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක කරන්නේ. වසරකට දරු දැරියන් 8,000කට අධික පිරිසක් ‘රන්දරු තිළිණ’ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන අතර මේ වන විට 43,000කට අධික දරු දැරියන් පිරිසකට ඒ හරහා ප්‍රතිලාභ හිමි කර දෙන්න බ්‍රැන්ඩික්ස් අපට හැකි වී තිබෙනවා.

‘රන්දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන මගින් සිදු කෙරෙන්නේ විශ්වවිද්‍යාල වරම් ලබන බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ උසස් අධ්‍යාපනයට සවියක් වීමයි. 2010 වර්ෂයේ ආරම්භ වූ ‘රන්දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන මගින් මේ වෙනකොට 700කට අධික පිරිසකගේ අධ්‍යාපනයට ශක්තියක් වෙන්න බ්‍රැන්ඩික්ස් අපට හැකිවෙලා තිබෙනවා.

ආර්ථික අපහසුතා හෝ විවිධ හේතු නිසා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කර ගැනීමට නොහැකිව නවතා දැමීමට සිදු වූ සාමාජික සාමාජිකාවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම වෙනුවෙන් උපකාරී වීමට ක්‍රියාත්මක වැඩසටහන තමයි ‘ශිල්ප’ කියලා කියන්නේ. මෙහිදී එම සාමාජික සාමාජිකාවන්ට වෘත්තිය පුහුණුවක් ලබා දී ඔවුන්ගේ ජීවිත මල් ඵල ගැන්වීමට මෙම වැඩසටහන උපකාරී වී තිබෙනවා. 2018 වසරේ ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන යටතේ මේ වන විට 183 දෙනෙකු ප්‍රතිලාභ හිමි කරගෙන තිබෙනවා.

P.A.C.E. කියන්නේ 2012 වසරේ ක්‍රියාවට නැංවුණු වැඩසටහනක්. මෙමගින් මේ වන විට 4,000කට අධික පිරිසක් ප්‍රතිලාභ අත් කරගෙන තිබෙනවා. බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තිය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙම වැඩසටහන මගින් සිදු කෙරෙනවා.

2021 වසරේ ආරම්භ කළ තවත් අධ්‍යාපනික වැඩසටහනක් තමයි ‘රන්දරු අබිසෙස්’ කියන්නේ. බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට අයත් සීමාවේ තිබෙන පාසල්වල විශිෂ්ට දක්ෂතා පෙන්වන දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම මෙම වැඩසටහන මගින් සිදු කෙරෙනවා.

බ්‍රැන්ඩික්ස් කවදත් සමාජ සත්කාරය සිය වගකීමක් ලෙස කරට ගෙන කටයුතු කරන ආයතනයක්. ඒ අනුව දැනුමෙන් පිරි අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමින් වසර ගණනාවක් පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බ්‍රැන්ඩික්ස් සිදු කරන මෙම සත්කාරයන් රටේ අනාගතය සුරක්ෂිත කිරීමට උපකාරී වන බව විශ්වාසයි. එයින් උපරිම ඵල නෙළා ගනිමින් අධ්‍යාපනයෙන් මෙන්ම ගුණදම් අතින් ද ඉදිරියට යන්න ඔබ සියලු දෙනාට හැකිවේවා යනු වියමන් අපගේ පැතුමයි!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *