සැහැල්ලු දිවියකට නොවරදින ඔසුවක්

අපි කායිකව අසනීප වෙනවා වගේම අපේ හිත් පවා අසනීප වෙනවා. කායික රෝගයකදි අපි වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ගන්නවා. නමුත් හිත ලෙඩ වුණාම අපි අපිව සුවපත් කරගන්නව ද? මේ ගැන තමයි වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහන තුළින් මෙවර කතා කරන්නේ. ඒ කතාබහ සඳහා වැඩසටහනට එක් වුණා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රශංසනී මහත්මිය.

ගොඩක් වෙලාවට අපි බොහෝ දෙනෙක් ශාරීරික සෞඛ්‍යය හොඳින් තියාගන්න උත්සහ කළාට අපේ මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්න උත්සහ ගන්නෙ නැහැ. මහත්වෙලා කියලා හිතුණොත් අපි ව්‍යායාම කරලා සිරුර ලස්සනට හදාගන්න බලනවා. ඒත් අපි වෙනදට වඩා දුකින් ඉන්නව කියලා අපිටම දැනෙනවා නම්, වෙනදා කළ දේවල් කරන්න කැමැත්තක් නැත්නම්, වෙනදට වඩා වෙනසක් අපි තුළ තියෙනවා කියලා දැනෙනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. බොහෝ දෙනෙක් එහෙම අවස්ථාවක ඒ ගැන තමන්ගේ විශ්වාසවන්ත කෙනෙක් එක්කවත් කතා කරන්න උත්සහ කරන්නෙ නැහැ. ශාරීරික රෝගාබාධ ගැන විතරයි බොහෝ දෙනා සැලකිලිමත් වෙන්නේ.

අපි මානසික පීඩනයක ඉන්නවා නම් අපිට කන්න බැහැ, වැඩක් හරියට කරගන්න අමාරුයි වගේ වෙනස්කම් අපිට දැනෙනවා. හිත ලෙඩ වුණාම ශරීරයත් ලෙඩ වෙනවා. ඒ නිසා මානසික පීඩනයක් දැනෙන අවස්ථාවල ඒක ලැජ්ජා විය යුතු කාරණයක් කියලා නොහිතා මනෝ උපදෙස් ලබා ගන්න හෝ යොමු විය යුතුයි.

බ්‍රැන්ඩික්ස් ආයතන හැම එකකම මනෝ උපදේශිකාවන් ඉන්නවා. ඔයාලට එහෙම අවස්ථාවල ඔවුන් සමග හිතේ තියෙන ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඉතාම හොඳ අවස්ථාවක් ඔයාලගේ ජීවිතයට. උපදේශිකාවක් සමග කතා කරන්න යනවා කවුරු හරි දැක්කොත් මොනවා හරි හිතයි කියලා සමහර අය හිතන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න එපා. අපි කායික රෝගවලදි වෛද්‍ය උපදෙස් ගන්නවා වගේම මේකත් සාමාන්‍ය දෙයක්.

අපේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒකට ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන මොනවාද ඔයාගේ දුර්වලකම්, මොනවාද හැකියාවන්, හදාගන්න ඕන තැන් මොනවාද වගේ හිතලා ඒවා සටහන් කරන්න. ඒකෙන් අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් අපි ගැනම. ඒ වගේම සමහර අය දුකක් දැනුනම ඒක පිටතට පෙන්නුවත් සමහර අය දුක සඟවාගෙන ඉන්නවා. එහෙම වෙලාවට අපිට පුළුවන් දවසේ හැම මොහොතක්ම දුකෙන් ගත කරන්නෙ නැතුව දුක් වෙන්න වෙනම වෙලාවක් වෙන් කරගන්න. ඒ තුළින් සැහැල්ලුවක් ලබා ගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරන එකත් ශාරීරික වගේම මානසික සෞඛ්‍යයට හොඳ දෙයක්.

නිරෝගීව, සැහැල්ලුවෙන්, සතුටින් ජීවත් වෙන්න නම් කායික හා මානසික කියන අංශ දෙකම යහපත් තත්ත්වයෙන් පවත්වාගන්න අපි මහන්සි වෙන්න ඕන. එතකොට ඔයාගේ ජීවිතේ පැහැදිලි වෙනසක් දකින්න අවස්ථාව ලැබේවි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *