“කාන්තාව මැණිකක් නෙමෙයි නිධානයක්”

ලෝකය නිර්මාණය වන්නේ මවගේ කිරිත් හිරුගේ කිරණත් එකතුවෙන් කියලා ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වන මැක්සිම් ගෝර්කි කියලා තියෙනවා. සූර්යයා මුළු ලොවටම ආලෝකයත්, ජීවයත් දෙනවා වගේම කාන්තාවටත් පුළුවන් සමස්ත සමාජයටම ජීවය දී පුබුදු කරන්න. මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනෙන් කතා කරන්නේ දැයක් පුබුදුවන කාන්තාව ගැන. ඒ ගැන කතා කරන්න වියමන් TV සමග මෙවර එක් වුණේ බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මනෝ උපදේශිකා රොෂානි බණ්ඩාර මහත්මිය.

“අපි සාහිත්‍යය, ගීතය තුළ කාන්තාව මටසිලුටු චරිතයක් විදියට දකිනවා. හැබැයි අපි දකින කාන්තාවන් අතර බොහොම ශක්තිමත්, ආත්ම විශ්වාසයෙන් යුක්ත අය අපි දකිනවා. කාන්තාව තනි පුද්ගලයෙක් විදියට ගත්තට විවිධ භූමිකාවන් නිරූපණය කරනවා. දියණිය, සොයුරිය, පෙම්වතිය, බිරිඳ, මව කියන භූමිකාවලින් කාන්තාව අපිට හඳුනගන්න පුළුවන්.

අපි දකින කාන්තාවන් ඉන්නවා හැල හැප්පීම් මැද, ප්‍රතික්ෂේපවීම් ඉදිරියේ, සමහර නොගැළපීම් නිසා තනිව ජීවත් වෙනවා. තමන්ගේ දරුවො වෙනුවෙන් විශාල වෑයමක් දරනවා, එයාලට හොඳට උගන්නන්න, පෝෂණය කරන්න, රැකවරණයක් දෙන්න. යුද්ධය වෙනුවෙන් දිවි පිදුව රණවිරුවන්ගේ දිරිය බිරින්දෑවරු අපි දකිනවා. හැබැයි මේ දිරිය කාන්තාව ගැන කතා කරන්න කෙනෙක් නැහැ. මේ දේවල් එක්ක හිතුවම කාන්තාව කියන්නේ ප්‍රබල චරිතයක්.

සමාජයෙන් කාන්තාව යම් රාමුවලට කොටු කරන්න උත්සහ කරනවා. සමාජය කිව්වම අපිම තමයි සමාජයේ ජීවත් වෙන්නේ. සමහර කොටු කිරීම් තුළ කාන්තාව නිවසේ සිටිය යුතුයි, එයාගේ කතාබහ, හැසිරීම මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා අපි විසින්ම තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. කාන්තාවක් මේ වගේ ඉන්න ඕන, පිරිමියෙක් මේ වගේ ඉන්න ඕන කියන බෙදීම් සමාජය නිර්මාණය කළ ඒවා. එහෙම වර්ගකිරීම් අවශ්‍ය නැහැ.

වගකීම් සහිත පුද්ගලයෙක් විදියට ඉදිරියට යද්දි කාන්තාව වගේම පිරිමියා කියන චරිත දෙකම උරෙනුර ගැටිලා වැඩ කරනවා. උයන්නේ ගැහැනු ළමයා කියලා කිව්වට අපි දකිනවා හෝටල් ක්ෂේත්‍රයේ දැවැන්ත සුපවේදීන් ඉන්නවා පිරිමි අය. ඇඟලුම් ක්ෂේත්‍රය, ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැවැන්ත කාන්තා චරිත ඉන්නවා. පවුල තුළින් අපිට මේක වෙනස් කරන්න පුළුවන් නම් සමාජ මතය ඉබේම වෙනස් වෙනවා.

කාන්තාව මැණිකක් නෙමෙයි නිධානයක්. නිධානයක් ඇතුළෙ රත්තරන්, මැණික් මේ හැමදේම තියෙන්න පුළුවන්. ඒ තුළ තියෙන ශක්තිය, බැබළීම, දිලිසෙනබව මේ හැමදේම වැඩියි. කාන්තාව සීමා නොකර එයාගේ තියෙන ශක්තීන්, හැකියාවන්, බලාපොරොත්තු, සිහින මේ හැමදේම හඳුනගන්න පුළුවන් නම් ලෝකයක්, රටක් විදියට දියුණුවට පත්වෙන්න ඒක හේතුවක්.

වර්තමාන සමාජයේ අපි දකිනවා තරුණ පරම්පරාව තමන්ගේ බිරිඳට උදව් කරනවා. ඇයගේ ඕනෑ-එපාකම් හඳුනගන්නවා. මේ අන්‍යෝන්‍ය අවබෝධය ඔවුන් තුළ තිබෙනවා. පොඩි ළමයගේ ඉඳලා මේ දේවල් පුරුදු කරන්න අපිට පුළුවන් නම්, මේ වෙනස ඇති කරන්න පුළුවන් නම් කාන්තාවගේ තියෙන ශක්තිය, ධෛර්යසම්පන්න බව තවදුරටත් ඉස්මතු වෙන්න ඒක හේතුවක් වෙනවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *