රන් දෑතින් ලොව පුබුදන්නී

ස්ත්‍රිය යනු අවිහිංසාවේ ජීවමාන සංකේතයක් බව මහත්මා ගාන්ධිතුමා වරක් සඳහන් කරලා තිබෙනවා. සාමය නමැති අමෘතය අවශ්‍යව සිටින කලහකාරී ලෝකයට සාමයේ කලාව ඉගැන්වීමේ කාර්ය පැවරී ඇත්තේ කාන්තාවට බවත් ගාන්ධිතුමා අවධාරණය කර තිබෙනවා.

‘ගෙදර බුදුන් අම්මා’ යන ප්‍රකාශය අපි කවුරුත් අහලා තිබෙනවා. ඒ තමයි බෞද්ධ සමාජය ස්ත්‍රියක වන අම්මා තබන උතුම් ස්ථානය. ‘මා හි ගංගා – මා හි යමුනා’ කියලා හින්දි භාෂාවෙන් කියන්නේ අම්මාමයි ගංගාව, අම්මාමයි යමුනාව කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඉන්දියාව පෝෂණය කරන ගංගා සහ යමුනා ගංගාවන් වගේ අම්මාත් මහා ගංගාවක් වගේ කියන අදහස. හින්දි ගීත සාහිත්‍යය තුළ ස්ත්‍රියකට දී ඇති ඉහළම ස්ථානය තමයි ඒ ප්‍රකාශය තුළින් කියැවෙන්නෙ. හැම සාහිත්‍යයකම ගැහැනියක වන අම්මාට ඉහළම තැනක් දීලා තියෙනවා.

අම්මා, බිරිඳ, සොයුරිය, දියණිය ආදී විවිධ ස්වරූපයෙන් කාන්තා චරිත අපේ ජීවිතයට ළංවෙනවා. මේ විවිධ ස්වරූපයන්ගෙන් යුක්තව අපි හැම කෙනෙකුගේම ජීවිතවලට මිතුරියක ලෙස මිත්‍රත්වයේ සඳ කිරණ ගෙන එන තැනැත්තිය කාන්තාවයි. සාහිත්‍යයට අනුව විටෙක කාන්තාව ආදරයේ ප්‍රතිමූර්තිය ලෙස හඳුන්වනවා. තවත් තැනකදි දරා ගැනීමේ ප්‍රතිමූර්තිය, කැපකිරීමේ ප්‍රතිමූර්තිය, ඒ වගේම අවබෝධය, අභිවෘද්ධිය පිළිබඳව පදනම, එහෙමත් නැත්නම් රැකවරණය, සෙනෙහස, උණුසුම ලබා දීමේ උල්පත විදියටත් කාන්තාව හඳුන්වනවා.

පවුලෙන්, රැකියා ස්ථානයෙන් පටන් අරගෙන ලෝකය දක්වා දිවෙන භූමිකාවක් ස්ත්‍රියට තිබෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය කාන්තාවන් විශාල පිරිසක් සේවය කරන ස්ථානයක්. ඔවුන්ට තිබෙනවා ස්ත්‍රීත්වය ඇතුළෙන්ම ගොඩනැගෙන ශක්තියක්, ධෛර්යයක් සහ ඒ ජීවිත සමග සම්බන්ධව සෙනෙහස, දයාව වැපිරවීම සඳහා වූ සුවිශේෂී ශක්තියක්. තමන් සතු ඒ මහා ගුණ සමුදායත් සමග රැකියාවට එන්න ඔබට හැකි නම් කිසිම ආතතියකින්, පීඩාවකින් තොරව රාජකාරි කරන්න පුළුවන්. ඒ වගේම පිරිමි පාර්ශවය විසින් කාත්නා පාර්ශවයට අවශ්‍ය රැකවරණය, නිවැරදි සන්නිවේදනය, එකිනෙකාට ගරු කිරීම ආදී දේ පවත්වාගෙන යනවා නම් ඕනම ගෙදරක්, රැකියා ස්ථානයක් සුන්දර තැනක් බවට පත් වෙනවා.

අපේ රටේ ජන සං‍යුතිය ගත්තොත් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන්. ඒ නිසා ඉදිරි දස වසර තුළ අදටත් වඩා කාන්තාවන් පිරිසක් ශ්‍රම වෙළෙඳ පොළ තුළ සිටින බවටත්, ආයතනවල ඉහළ තනතුරුවලට කාන්තාවන් පත්වන බවටත් පුරෝකථනය කෙරෙනවා. ආර්ථිකය, සමාජය සහ සංස්කෘතියේ සමස්ත දිශානතිය කාන්තාවන් විසින් තීරණය කරන කාලයක් අපේ රට ඇතුළු බොහෝ රටවල්වලට ඉතා ඉක්මනින් උදාවන බව ඉන් කියැවෙනවා.  

කාන්තා දිනය සමරන මේ වෙලාවේ විශේෂයෙන්ම තරුණ කාන්තා ඔබට මම ඉතා ආදරයෙන් මතක් කරනවා ඔන්ලයින් තරුණියක් නොවී මහ පොළොවට බැහැල ලෝක යථාර්ථය අවබෝධ කරගත් තරුණියක් ලෙස මිනිසුන් සමග උරෙනුර ගැටෙමින් ඒ ධෛර්යය ප්‍රදර්ශනය කරන කෙනෙක් බවට පත් වෙන්න කියලා. මවක තම දරුවන් දෙස බලනවා වැනි ආදරයකින්, හැඟීමකින් ලෝකයා දෙස බලන්න පුළුවන් එඩිතර කාන්තාවක් බිහිවීමේ පදනම තමයි තාරුණ්‍යය කියලා කියන්නේ. ඒ නිසා අනාගතයට අවශ්‍ය ජවය මේ තරුණ කාලය තුළදීම ගොඩනගා ගන්න. ජීවිතය සැලසුම්සහගත කරගන්න. ඔබට හිමිවන වැටුප, ලබන ආදායම කුමන ප්‍රමාණයක් වුවත් වියදම සැලසුම් කරගන්න. ඒ වගේම ඉතිරිය සැලසුම් කරගන්න. ආයෝජනය සැලසුම් කරගන්න. ඔබ දකින්න කැමති අනාගතය අදම නිර්මාණය කරගන්න.

තරිඳු ධනංජය වීරසිංහ

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය

මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *