අපේකමෙන් පිබිදෙන සූර්ය මංගල්‍යය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සිදු වන බක් මාසය පිළිගන්න අපිටත් කලින් පරිසරය සැරසෙනවා. ගහකොළ දලු දාලා හරිත වර්ණයෙන් පරිසරය හැඩ කරද්දි එරබදු මල් රත් පැහැයෙන් වර්ණවත්ව එරබදු ගහ සරසනවා. කොවුල් ගී නාදය පරිසරය සංගීතවත් කරද්දි, ගස් වැල් මලින් සැරසිලා, පලබරවෙලා දසතම සුවඳවත් කරනවා. පරිසරයේ සිදුවෙන මේ වෙනසත් එක්ක අපිත් අලුත් හැඟීම් එක්ක පිබිදිලා සූර්ය මංගල්‍යයට සැරසෙනවා. සූර්ය සංක්‍රාන්තිය සමග සැමරෙන මෙරට මහා සංස්කෘතික මංගල්‍යය පිළිබඳ කතා කරන්න වියමන් TV සමග එක් වුණා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රැතිය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත මහතා.

“අලුත් අවුරුදු උදාවේදී අපි අනුගමනය කරන චාරිත්‍රවල ඉතා ගැඹුරු වටිනාකමක් සහ හරයක් ගැබ්වෙලා තිබෙනවා. නිවසේදී එදිනෙදා අපි කන බොන කටයුතු සිදු කරද්දි අපිට බඩගින්නක් ආ වෙලාවට අපි කනවා. එතැනදී පවුලේ හැමෝම එකට එක්වෙලා කන්නෙ නැහැ. නමුත් අලුත් අවුරුද්ද දවසෙ එහෙම කන්නෙ නැහැ. ලිප ගිනි මෙළවීමට නැකතක් තිබෙනවා, ආහාර අනුභව කරන්න නැකතක් තිබෙනවා. පැල්පතක් ද, මන්දිරයක් වැනි විශාල නිවසක් ද කියලා වෙනසක් නොමැතිව සියලු නිවෙස්වල ලිප ගිනි දැල්වෙන්නේ එකම මොහොතක.

අලුත් අවුරුද්දේ නැකත් එක්ක තිබෙන වටිනාම දේ තමයි සංස්කෘතිය විසින් මිනිසා අලුත් කරනවා. මනසින්, ක්‍රියාකාරකම්වලින්, නෑදෑකම්වලින්, හිතවත්කම්වලින් මිනිසා අලුත් වෙනවා. මේක තියෙන්නේ අපේ අවුරුදු චාරිත්‍රත් එක්ක. උදාහරණයක් ගත්තොත් ලිප දැල්වීම නැකතට අම්මා සූදානම් වෙලා, පවුලේ හැමෝටම කතා කරනවා. පවුලේ අය වෙනදා අම්මා ලිප දල්වනව ද නැද්ද දන්නෙත් නැහැනේ. හැබැයි අවුරුදු දවසට අලුත් ඇඳුම් ඇඳලා සියලු දෙනා ඇවිත් ඉන්නවා. අපූර්වත්වය පවුල ඇතුළට ඇවිත් තියෙනවා. සංස්කෘතියේ තියෙන වටිනාකම තමයි මේ චමත්කාරය අත්විඳින එක. ආහාර අනුභවය ගත්තොත් කොටසක් අවුරුදු කුමාරයට වෙන් කරලා හැමෝම එකට වාඩිවෙලා කනවා. අපේ දෛනික ක්‍රියාකාරකම් සියල්ල වෙනස්වෙලා. කැවිලි අරන් අසල්වැසි ගෙදරකට පවා අපි යන්නේ අලුත් මුහුණුවරකින්. මේ සංස්කෘතික සෙනෙහසට ලාංකිකයන් ආදරය කරනවා.

අම්මා නැත්නම් ගෙදර ඉන්න ගෘහණිය මත තමයි අපේ රටේ පැවැත්ම තියෙන්නේ. හේතුව අපි මව්වත් ගුණය පිරි සමාජයක්. ගෙදරක පැවැත්ම මව, බිරිඳ කේන්ද්‍රගතවයි තියෙන්නේ. අද අපේ වනිතාව මැහුම, ගෙතුම කියන එක වෘත්තික තත්ත්වයකට ගෙනැත් තියෙනවා. හැබැයි මේ මැහුමේ, ගෙතුමේ ඉන්න වනිතාවම නේද සංස්කෘතියේ වියමන කරගෙන යන්නේ. ඇය නිවාඩුවට ගෙදර ගියාට පස්සේ සංස්කෘතික භූමිකාවට අවතීර්ණ වෙනවා. දෙමාපියන්ට, පවුලෙ උදවියට තෑගි අරන් ගිහින් ඇය ඉපැයූ මුදල තුළින් මොන තරම් වින්දනයක් ඇය ලබනවද. ඇයට මේවා පැවරුවේ සංස්කෘතිය විසින්.

අනෙකුත් චාරිත්‍ර වගේම හිස තෙල් ගෑමේ චාරිත්‍රයත් ඉතා වැදගත් චාරිත්‍ර භාවිතාවක්. හෙළ වෙදකම් සියල්ල ශාකසාර මත ගොඩනැගුණ ඒවා. ශාකවලින් තමයි ඔසු ගුණය අපි ගත්තේ. හිස තෙල් ගෑමෙන් කරන්නේ අපේ ආයුෂ සම්පත පිළිබඳව, අපේ ශාරීරික ශක්තිය පිළිබඳව සහ නිරෝගි පැවැත්ම පිළිබඳව අවබෝධයක් ලබා දීම. 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරන්නේ ඒකයි.”

සියලු බැඳීම් අලුත් වී ජීවිතයත් අලුත් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට, සැනසීම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *