තැනට සුදුසු නුවණින් කටයුතු කරමු

උපායශීලීව සහ සුපරික්ෂාකාරීව කටයුතු කරන්නේ නම් සිදුවීමට යන භයානක අනතුරුවලින් මිදීමට හැකියාව තිබෙනවා. තැනට සුදුසු නුවණ යොදාගෙන කටයුතු කරමින් උපායශීලීව භයානක අනතුරක් වළක්වාගත් බවට හොඳම උදාහරණයක් තමයි නළපාන ජාතක කතාව.

එක් දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් ජනපදයේ චාරිකාවක යෙදෙන අතරතුර නළකපාන ගමට වැඩම කළා. එහි විශාල පොකුණක් තිබුණා. ඒ ගමේ මිනිස්සු මේ අසල තිබූ වනයක තමයි බුදුන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාට වැඩ සිටින්න කුටි තනා දුන්නේ.

මේ කුටිවල වැඩ සිටි භික්ෂූන් වහන්සේලා වනයේ තිබුණ බට පඳුරුවලින් බට ගෙනැත් සිවුරු මහන ඉදිකටු දාන්න කුඩා කොපුවක් සකස් කරගන්න හිතුවා. ඒත් ඒ බට දඬුවල තනි සිදුරු මිස පුරුක් පිහිටලා තිබුණෙ නැහැ. ඉතින් මේක අසාමාන්‍ය දෙයක් නිසා භික්ෂූන් වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ නළපාන ජාතක කතාව වදාළා.

“මේ පොකුණ තිබෙන තැන අතීතයේ තිබුණා මහා වනාන්තරයක්. ඒ කාලේ මේ පොකුණෙ හිටියා භයානක දිය රකුසෙක්. වතුර බොන්න පොකුණට එන හැම සතෙක්ම දිය රකුසගේ ගොදුරක් වුණා.”

ඒ කාලේ අප මහා බෝධිසත්වයෝ වඳුරු කුලයක ඉපදිලා හිටියේ. විශාල වඳුරු රංචුවකට නායකත්වය දෙමින් එහි නායකයා විදියට හිටියේ අප මහා බෝධිසත්වයෝ. එක්තරා දවසක වඳුරු රංචුව කැඳවූ වඳුරු නායකයා වනාන්තරයේ තිබෙන සුන්දරත්වයට පිටුපසින් තිබෙන භයානකකම පිළිබඳ පැහැදිලි කළා. වනාන්තරයේ විෂ සහිත පැළෑටි වර්ග තිබෙන බවත් යමක් කෑමට පෙර සහ වතුර බීමට පෙර තමාගෙන් අවසර ලබා ගන්නා ලෙසත් නායක වඳුරා තම පිරිසට කිව්වා. මේ අවවාද අනුව වඳුරු රංචුව හරිම පරිස්සමෙන් වනාන්තරයේ ජීවත් වුණා.

ඔය අතරතුර කාලයේදී දිය රකුසෙක් සිටි නළපාන පොකුණ වඳුරු රංචුවට දකින්න ලැබුණා. නමුත් ඒ පොකුණෙන් වතුර බොන්න මේ රංචුවේ කිසිම වඳුරෙක් උත්සහ කළේ නැහැ. වඳුරු නායකයා පොකුණ අසලට ඇවිත් හරිම පරීක්ෂාකාරීව බැලුවම තේරුම් ගියා පොකුණට සතුන් පැමිණි අඩි සලකුණු තිබුණත් ආපසු ගිය බවක් පේන්න නැහැ කියලා.

“මේ පොකුණේ භයානක දිය රකුසෙක් ඉන්න බවයි මට වැටහෙන්නේ. නුඹලා මම දුන්න අවවාද අනුව කටයුතු කළ නිසා හැමෝම බේරුණා,” කියලා නායක වඳුරා කිව්වා. මේ අතර පොකුණෙන් ඉහළට මතු වුණ දිය රකුසා වඳුරන්ට කිව්වා පිපාසය නිවා ගන්න පොකුණෙන් වතුර බොන්න කියලා. දිය රකුසාගේ වචනවලට කිසිම වඳුරෙක් රැවටුණේ නැහැ.

“මගේ රංචුවේ කිසිම කෙනෙක් ඔබේ ගොදුරක් වෙන්නෙ නැහැ. නුඹට බිලි නොවී මේ පොකුණෙන් වතුරත් බීලා තමයි අපි යන්නේ,” කියලා වඳුරු නායකයා දිය රකුසට කිව්වා.

පොකුණෙන් වතුර බොන විදිය ගැන කල්පනා කළ වඳුරු නායකයා පොකුණ අසල තිබුණ බට පඳුරෙන් දණ්ඩක් කඩාගෙන හැම සත්ත්වයෙක්ගෙම යහපත ගැන සත්‍යක්‍රියා කරමින් බට දණ්ඩේ එක් පසෙකට පිම්බා. ඒ අධිෂ්ඨාන බලයෙන් බට දණ්ඩේ මැද තිබුණු පුරුක් ගැලවිලා තනි බටයක් හැදුණා. ඒ විදියට අධිෂ්ඨාන කර හදාගත් බට දඬුවලින් වඳුරු රංචුවට පුළුවන් වුණා දිය රකුසට බිලි නොවී පොකුණෙන් වතුර බොන්න.

තැනට සුදුසු නුවණ යොදා ගෙන කටයුතු කළ නිසාත් සුපරික්ෂාකාරී වුණ නිසාත් වඳුරු රංචුවට ජීවිත හානියක් නොවී භයානක අනතුරකින් මිදෙන්න හැකි වුණා. ඒ කාලයේ දිය රකුසාව සිටියේ දේවදත්ත බව ද බුදුන් වහන්සේ ජාතක කතාව අවසන් කරමින් භික්ෂූන් වහන්සේලාට වදාළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *