අකීකරුකම දුරලමු යහපත් අවවාද පිළිපදිමු

තමන්ගේ යහපත වෙනුවෙන් ලැබෙන අවවාද පිළිනොපැදීම සහ අකීකරුකම හේතුවෙන් පුද්ගලයෙක්ගේ ජීවිතය විනාශය කරා ළඟා වෙන්න පුළුවන්. එලෙස යහපත් අවවාද නොපිළිගත් තාපසයෙකුට අත් වූ ඉරණම ගැනයි වේළුක ජාතක කතාවෙන් කියවෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි කාලයේ එක් භික්ෂුවක් සිටියා කිසිම වැඩිහිටි භික්ෂුවකගේ අවවාද නොපිළිපදින. මේ භික්ෂුවගේ අකීකරු හැසිරීම් නිසා භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේට මේ ගැන දැනුම් දුන්නා. එම භික්ෂුව පෙර ආත්මයක ද යහපත් අවවාද නොපිළිපැද අකීකරුව හැසිරීම හේතුවෙන් විනාශය කරා ළඟා වූ බව වදාළමින් බුදුන් වහන්සේ වේළුක ජාතක කතාව වදාළා.

බෝධිසත්ත්වයෝ කසී රටේ ධනවත් පවුලක උපත ලැබුවා. වයසත් සමග ජීවිතයේ නිස්සාර බව අවබෝධ වූ බෝධිසත්ත්වයෝ හිමාලයට ගොස් සෘෂිවරයෙකු ලෙස ජීවත් වෙන්න පටන් ගත්තා. කල්යත්ම සෘෂිවරයා සමග තවුසන් පිරිසක් ද එකතු වුණා. මේ තවුසන් පිරිසේ සිටි එක් තවුසෙකුගේ කුටියට දිනක් විෂ සහිත සර්පයෙකු පැමිණියා. සර්පයා තම පෙර සංසාරයක පුතෙකු යැයි සිතූ තවුසා උණ පුරුකක් ගෙන සර්පයාව එහි ඇති කරන්න පටන් ගත්තා. උණ ගස වේළු ලෙස හඳුන්වන නිසා මේ සර්පයාට නමක් ලැබුණා වේළුක කියලා. ඒ වගේම සර්පයා ඇති කරන තවුසාව අනෙක් තවුසන් හැඳින්වූවේ වේළුක පියා ලෙසයි.

වේළුක තවුසා ගැන දැනගත් සෘෂිවරයා ඔහුව කැඳවා සර්පයා භයානක බවත් සර්පයෙකු ඇති කිරීමෙන් විපතක් විය හැකි බවටත් අවවාද කළා. නමුත් තවුසා අවවාදය පිළිගත්තේ නැහැ. දින කිහිපයකින් තාපසවරු ඈත ප්‍රදේශයකට පිටත් වුණා ආහාර සපයා ගන්න. ඒ ප්‍රදේශයේ ආහාර බහුලව තිබූ නිසා දින කිහිපයක් තාපසවරු එහි නතර වුණා. වේළුක පියා නැවත තාපසාරාමයට පැමිණි පසු දින කිහිපයක් නිරාහාරව සිටි සර්පයාට ආහාර දීමට සර්පයා දමා තිබූ උණ පුරුකට අත දැම්මා. කෝපයෙන් සිටි සර්පයා තවුසාට දෂ්ට කළා. තවුසා එම අවස්ථාවේම මිය ගියා.

පෙර ආත්මයේ වේළුක පියාව සිටියේ මේ ආත්මයේ වැඩිහිටි භික්ෂූන්ගේ අවවාද නොපිළිගනිමින් අකීකරුව හැසිරෙන භික්ෂුව බවත් සෘෂිවරයා තමන්වහන්සේ බවත් භික්ෂූන් පිරිසට කියා දෙමින් බුදුන් වහන්සේ වේළුක ජාතක කතාව වදාළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *