අවසරය

මහන්සිය යන්නටත් එක්කලා
පිලේ පැදුරක් එලා ගත්තා
දෑස් අඩවන් වෙලා එද්දිම
ඉදල් පාරක් සවන් වැකුණා
නෙරිය බේරී පේන විලසට
චීත්තය මල් වැටී තිබුණා
උඹට වැඩියෙන් හිතේ හැටියට
මිදුලෙ මං පොඩි රටා මැවුවා

කහට උගුරක් බිව්ව හැටියෙන්
වේලකට කුසගින්න නිවුවා
දෝසයක් ඇති නොවෙන්නට මෙන්
මාළුපිණි දෙක තුනක් ඉවුවා
පනං හතරක් හොයන් ආවම
හිනාවී මාලිගා මැවුවා
මම දවාලෙදි පාන ඉඟි බිඟිවලට
හොරැහින් මටත් රැවුවා

ඵල උරුම නැති උනත් සමහර
ගස් උනත් මල් දැරුව හින්දා
බුදුන් පාමුල වන්දනාවට
උරුමකම් හොය හොයා වැන්දා
දරුපැටව් හීනයක් වෙද්දිත්
උණුහමට මගෙ තවත් රිංගා
“සිවුරුපට ගත දවටගන්නද
රහසින්ම අවසරේ යැද්දා”

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *