යහපත් වදනින් අන් අය අමතමු

අප සමහර අවස්ථාවල වැඩිදුර නොසිතා තවත් කෙනෙකුගේ සිත රිදෙන ලෙස රළු වදන් පවසනවා. එසේ කිරීමෙන් සිත් රිදීම් ඇති වෙනවා මෙන්ම පාඩු සිදු විය හැකි අවස්ථා ද නිර්මාණය වේ. එලෙස රළු ලෙස කෙනෙකු ආමන්ත්‍රණය කිරීමේ විපාක පිළිබඳවත් යහපත් වදනින් කෙනෙකු ආමන්ත්‍රණය කිරීමේ වටිනාකම පිළිබඳවත් නන්දිවිසාල ජාතක කතාවෙන් කියවේ.

බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සමයේ භික්ෂූන් සය දෙනෙකුගෙන් යුත් පිරිසක් අනෙක් භික්ෂූන්ට අයහපත් වදනින් පරිභව කරමින් වාසය කර තිබෙනවා. මේ ගැන බුදුන් වහන්සේට අනෙක් භික්ෂූන් පැමිණිලි කළ පසු, තිරිසන් සතෙකුවත් රළු වදන්වලට ප්‍රිය නොකරන බව පවසමින් බුදුන් වහන්සේ නන්දිවිසාල ජාතක කතාව වදාළා.

එක්තරා කාලයක බෝධිසත්ත්වයෝ වසු පැටවෙකු ලෙස ඉපිද බ්‍රාහ්මණයෙකු ළඟ හැදී වැඩුණා. බ්‍රාහ්මණයා වසු පැටවාට ඉතා ආදරයෙන් සියලු සැප සම්පත් ලබා දෙමින් තමයි ඇතිදැඩි කළේ. ඉතා ශක්තිමත් වෘෂභ රාජයෙකු බවට කල් යත්ම වැඩුණු ඒ වසු පැටවාට නන්දිවිසාල යැයි නම් තැබුවා. දවසක් නන්දිවිසාල මෙහෙම හිතුවා. “මේ බ්‍රාහ්මණයා මාව ඉතා ආදරයෙන් ඇතිදැඩි කළා. මම වගේ ශක්තිමත් ගවයෙක් මේ දඹදිව නැහැ. මගේ බලය පෙන්වා බ්‍රාහ්මණයා වෙනුවෙන් යමක් කළ යුතුයි.” මෙසේ සිතූ නන්දිවිසාල විසින් බ්‍රාහ්මණයා අසලට ගොස් කිව්වා “ගවයින් සිටින සිටුවරයෙකු මුණ ගැසී, එකට බැඳි ගැල් සියයක් අදින්න හැකි ගවයෙක් සිටින බව පවසා කහවණු දහසක ඔට්ටුවක් අල්ලන්න” කියලා. ඉතින් බ්‍රාහ්මණයත් සිටුවරයෙක් මුණ ගැසී නන්දිවිසාලගේ සවි ශක්තිය ගැන පවසා ඔට්ටුවක් ඇල්ලුවා.

ඔට්ටුවට නියම කර ගත් දිනයේ බ්‍රාහ්මණයා විසින් නන්දිවිසාලව සුවඳ පැනින් නහවලා ගැල් සියය අදින්න රැගෙන ගියා. ගැල් අදින මොහොතේ බ්‍රාහ්මණයා “ඇදපන් කුළු හරකෝ” යනුවෙන් නන්දිවිසාලව ආමන්ත්‍රණය කළේ. ඒ ගැන දුක සිතී නන්දිවිසාල එක්වරම නතර වුණා.

කහවණු දහසක් පැරදුණු බ්‍රාහ්මණයා නිවසට ගොස් දුක සේ කල්පනා කරන අතර නන්දිවිසාල ගොස් බ්‍රාහ්මණයාගෙන් විමසුවා තමාට කුළු හරකා යැයි ආමන්ත්‍රණය කළේ තමන් අකීකරු ලෙසවත් කිසි දිනක හැසිරී ඇති නිසා ද කියා. එයට පිළිතුරු ලෙස බ්‍රාහ්මණයා කීවේ “නුඹ කිසි දින අකීකරුකමක් කර නැහැ පුතා” යනුවෙන්.

එසේ නම් මෙවර කහවණු දෙදහසක් ඔට්ටු අල්ලන ලෙසත් නමුත් තමාට රළු වදනින් ආමන්ත්‍රණය නොකරන ලෙසත් නන්දිවිසාල විසින් බ්‍රාහ්මණයාට පැවසුවා. ඒ අනුව බ්‍රාහ්මණයා කහවණු දෙදහසක ඔට්ටුවක් සිටුවරයා සමග අල්ලා ඔට්ටුව සඳහා දින නියම කර ගත්තා. අදාළ දිනයේදී නන්දිවිසාලව ඉතා ලස්සනට සූදානම් කරවා ඔහුට ආදරයෙන් ආමන්ත්‍රණය කරමින් ඔහුව දිරි ගන්වන්නට බ්‍රාහ්මණයා කටයුතු කළා. නන්දිවිසාල ගැල් සියයම ඇද ඔට්ටුව ජයග්‍රහණය කළා. පැමිණ සිටි පිරිසත් නන්දිවිසාලගේ ශක්තිය පිළිබඳ කතා කරන්නට පටන් ගත් අතර නන්දිවිසාලට මෙන්ම බ්‍රාහ්මණයාට ද තෑගි විශාල ප්‍රමාණයක් හිමි වුණා.

කා හට වුවත් රළු වදනින් ආමන්ත්‍රණය නොකර යහපත් වදන් භාවිත කළ යුතු බව නන්දිවිසාල ජාතක කතාවෙන් අපට ගත හැකි ආදර්ශයයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *