දරු පැටව්

හිස් මුදුනෙ තියාගෙන අදහාපු ආගමේ
පිළිසරණ නැතුවා ද කියා සැකයක් ඇතේ
පාපතර යක්කුන්ගේ හිරි අරින්නට ගතේ
පොඩි එවුන් බිලි ගන්නේ දුකක් නැතිදෝ හිතේ

දුවෙක් හරි පුතෙක් හරි පණට සම නැතිවා ද
අහිංසක මුව කමල දැකලාවත් නැතිවා ද
බියෙන් ඇඟ වෙවුලද්දි දුක හිතුණේ නැතිවා ද
අඬනකොට කඳුළු බිඳු වැටුණෙවත් නැතිවා ද

හෙට ලෝකෙ දිනන්නට හීන දකිනා උන්ට
හීනියට සැර කළත් කමක් නෑ නොවැටෙන්ට
ඉඩ නොදී තැළෙන්නට පිපෙන මල් බඹරුන්ට
ආදරෙන් අමතපන් හඬන්නේ නැති වෙන්ට

ජාතියක් ආගමක් භේද කිසි නොසලකව්
පුංචි උන් මල් වගෙයි පිපෙන්නට ඉඩදියව්
සමාජෙට දෙන්න පෙර දෙපාරක් හිතපියව්
කාගේ හරි කමක් නෑ රැකපල්ලා දරු පැටව්

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *