දැයට සවි ගෙනෙන මීරිගම අබිමන

ලෝලුවාගොඩ අපනයන ආයෝජන කලාපයට කීර්තියක් එක් කරමින් විරාජමානව බැබළෙන බ්‍රැන්ඩික්ස් මීරිගම 2 ආයතනය පිළිබඳවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ ඔස්සේ අපි ඔබට තොරතුරු ගෙන එන්නේ.

ලෝලුවාගොඩ අපනයන ආයෝජන කලාපය තුළ සිය අභිමානයත් කීර්තියත් පතුරවමින් ප්‍රදේශවාසී ජනතාවට ද සවියක් වෙමින් බ්‍රැන්ඩික්ස් මීරිගම 2 ආයතනය ඉතා සාර්ථක ගමනක් යමින් සිටිනවා. දහසකට ආසන්න සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග පිබිදුණු විසඳුම් තිළිණ කරමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළට යාමේ අපේක්ෂා ඇතිව ආයතනය විසින් සාමාජික සාමාජිකාවන් දිරි ගැන්වීමේ කටයුතු ද නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. එලෙස සාමාජික සාමාජිකාවන් සතුටින් සහ ශක්තිමත්ව තබන්නේ ආයතනයේ දියුණුව රඳා පවතින්නේ සාමාජික සාමාජිකාවන් තෘප්තිමත්ව සිය වෘත්තීය ජීවිතය ගෙන යාමෙන් බව ආයතනයේ කළමනාකාරීත්වය දන්නා නිසයි. සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත ධනාත්මකව හොඳ මට්ටමකට ගෙන යාමට සහය වීම වෙනුවෙන් පුහුණු වැඩසටහන් පවත්වමින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට සවියක් වන්නට ද ආයතනය කැප වී කටයුතු කරනවා.

2000 වර්ෂයේදී සාමාජික සාමාජිකාවන් 400කගෙන් පමණ ආරම්භ වූ ආයතනය වර්තමානය වන විට විශාල පිරිසකගේ ආර්ථිකයට සවියක් වී තිබෙනවා. අභියෝගාත්මක කාලයක එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සහ කරන අතරම මනුසත්කාර ව්‍යාපෘති මගින් සමාජයට සේවයක් කරන්නට ද ආයතනය අමතක කරන්නේ නැහැ. ජයග්‍රාහී ගමනක් යමින් රටේ ආර්ථිකයටත්, මනු දැයටත් ශක්තියක් වීම ආයතනයේ අරමුණයි.