අනුන්ව මුලාවට පත් නොකරමු

අනෙක් පුද්ගලයන්ට වංචා කර, කපටිකමෙන් ඔවුන්ව මුලාවට පත් කරමින් යම් අයෙක් තමාට යහපතක් සලසාගන්න උත්සහ කරයි ද ඔවුනට කෙදිනක හෝ එහි විපාක අත්විඳීමට සිදු වෙනවා. ජේතවනාරාමයේ වැඩ වාසය කළ සිවුරු මසන භික්ෂුවක් අන් භික්ෂූන්ට වංචා කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් බුදුන් වහන්සේ දේශනා කළ බක ජාතක කතාවෙන් කියවෙන්නේ අනුනට වංචා කරමින් ජීවත් වීමේ ප්‍රතිවිපාක ගැනයි.

සිවුරු මසන්නට එකල භික්ෂූන් බොහොමයක් දැන සිටියේ නැහැ. ඒ නිසා සිවුරු මසන්නට දක්ෂ භික්ෂුව සොයාගෙන විත් ඉතා පිළිවෙළට සිවුරු සාදා ගන්න අනෙක් භික්ෂූන් හුරු වී සිටියා. අනෙක් භික්ෂූන් සිවුරු මැසීම ගැන නොදැනුවත් යැයි දැන සිටි මේ භික්ෂුව ටිකෙන් ටික අනෙක් භික්ෂූන්ට වංචා කරන්න පටන් ගත්තා. අනෙක් භික්ෂූන් ගෙනෙන අලුත් රෙදි තමා තබා ගනිමින් දිරා ගිය රෙදි එක් කොට මසා, පඬු පොවා, හොඳින් මැද, නවා අලුත් සිවුරක් මෙන් සැකසූ සිවුරක් අනෙක් භික්ෂූන්ව රවටා පිළිගැන්වීමට මේ භික්ෂුව පුරුදු වුණා. මෙලෙස රැගෙන යන සිවුරු කෙටි කලකින් අවපැහැ ගැන්වී යාමත් සමග අදාළ භික්ෂුව වංචා සහගත ලෙස සිවුරු සකසන බව සියල්ලෝම දැන ගත්තා.

මේ අතර මේ ආකාරයටම සිවුරු සැකසීමේදී වංචා කරන පිටිසර ගමක භික්ෂුවක් ද මේ සිදුවීම දැන ගත්තා. මේ භික්ෂුවට සිතුවිල්ලක් පහළ වුණා ජේතවනාරාමයේ සිටින වංචා කරන භික්ෂුව රැවටීමට. ඉන්පසුව පිටිසර භික්ෂුව දිරා ගිය රෙදි එක් කොට සිවුරක් ඉතා ලස්සනට සකසාගෙන එය පොරවාගෙන ජේතවනාරාමයේ සිටින භික්ෂුව හමුවට ගියා. එය දුටු ජේතවනාරාමයේ භික්ෂුව එම සිවුර ඉතා අගේ බව පවසමින් එය ඉල්ලා සිටි අතර ඒ වෙනුවට අලුත්ම වස්ත්‍රයක් දිය හැකි බවත් එයින් සිවුරක් සකසා ගන්නා ලෙසත් පිටිසර භික්ෂුවගෙන් ඉල්ලා සිටියා. එම සිවුර ටික දිනක් භාවිත කරන විට එය අවපැහැ ගැන්වී ගිය අතර අනෙක් භික්ෂූන්ව රැවටූ ආකාරයෙන්ම තමන් ද රැවටී ඇති බව දැන ගත් ජේතවනාරාම භික්ෂුව ඉතා ලැජ්ජාවට පත් වුණා.

මේ සිදුවීම පිළිබඳ දිනක් දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා කතාබහ කරමින් සිටින අතර බුදුන් වහන්සේ එම ස්ථානයට වැඩම කළා. මේ සිදුවීම ගැන දැනගත් බුදුන් වහන්සේ “මහණෙනි, ඔය භික්ෂූන් දෙනම මින් පෙර ආත්මයකදිත් එකිනෙකාට වංචා කරගත්තා,” යැයි පවසා බක ජාතක කතාව වදාළා.

එක්තරා වනාන්තරයක තිබූ කුඩා විලක වතුර ටිකෙන් ටික අඩු වී ගියා පායන කාලයකදී. මේ විලට ආව ගිය කොකෙක් මේ වෙලාවේ උපායක් කල්පනා කළා වතුර සිඳී ගිය විලේ සිටින මාළුන්ව ආහාරයට ගන්න. ඉතින් මේ කොකා විලේ ඉන්න මාළුන්ට කිව්වා “මේ විලේ පෑවිල්ල නිසා වතුර නැතිවෙලා ගියොත් මාළු ඔක්කොම මැරිලා යයි. මේ වනාන්තරයේ තිබෙන වතුර පිරුණු ලස්සන විලකට හැම මාළුවෙක්ම අරන් ගිහින් දාන්න මට පුළුවන්,” කියලා. මාළු ටිකත් මේ උපායට හසු වුණා. කොකා කළේ මාළුන්ව එකින් එකා ගාණේ වතුර පිරි විලට අරන් යන බව පවසා රැගෙන ගොස් ආහාරයට ගැනීම.

මේ විලේ කකුළුවෙකුත් හිටියා. අවසානයේ ඉතුරු වුණේ කකුළුවා විතරයි වතුර අඩු විලේ. කොකාට කකුළු මස් කන්න ආසාවක් ආවා. කොකා කකුළුවාට කිව්වා වතුර පිරුණු විලට කකුළුවාව රැගෙන යන්නම් කියලා. නමුත් කොකා ගැන කකුළුවාට විශ්වාසයක් තිබුණේ නැහැ. කකුළුවා කිව්වා “ඔබ මාව බිම වට්ටවාවි. ඒ නිසා මට බැහැ ඔබ එක්ක එන්න,” කියලා. කොකාගේ හොටයේ තුඩින් කකුළුවාව රැගෙන යනවා වෙනුවට කොකාගේ බෙල්ල අල්ලාගෙන යන්න ඉඩ දෙනවා නම් වැටෙන්නේ නැතිව යා හැකි බවත් එයට එකඟ නම් පමණක් වතුර පිරි විල වෙත යන්නට කොකා සමග එන බවත් කකුළුවා කොකාට පැවසුවා. කොකා එයට එකඟ වී කකුළුවාව කොකා පැවසූ විල අසලට රැගෙන ගියා. නමුත් කොකා කකුළුවාව විලට දැම්මේ නැහැ. විල අසල ගසක අත්තකයි කොකා වැහුවේ. ඒ ගස අසල තිබුණ මාළුන්ගේ කටු දැකලා කකුළුවා තේරුම් ගත්තා මාළුන්ට අත්වුණ ඉරණම. කකුළුවා වහාම කොකාගේ බෙල්ල තද කරමින් තර්ජනය කළා තමන්ව විලට දමන ලෙස. බෙල්ල හිර වෙන වේදනාවත් එක්ක කොකාට සිදු වුණා කකුළුවාව විලට දාන්න. කොකා කකුළුවාව විලට දානවාත් සමගම කකුළුවා තමන්ගේ අඬුවලින් කොකාගේ බෙල්ල ද කපාගෙනමයි වතුරට පැන්නේ.

මේ කතාව වදාළ බුදුන් වහන්සේ, “මහණෙනි, එදා කොකා ලෙස ඉපිද සිටියේ ජේතවනාරාමයේ සිටි සිවුරු මහන භික්ෂුවයි. කකුළුවා වී සිටියේ පිටිසර ගමක සිටි සිවුරු මහන භික්ෂුවයි,” යනුවෙන් වදාළා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *