සිනහ පිරි ලොවක් දරුවන්ට තනා දෙමු

පුංචි දරුවෝ මල් වගේ. දරුවෝ සිය දෙනෙක් ගත්තොත් ඒ සිය දෙනා සිතන්නේ, ලෝකය දකින්නේ වෙනස් වෙනස් ආකාරවලට. හරියට මේ ලෝකේ එක එක පාටින්, එක එක සුවඳින් තියෙන මල් වගේ. ඒ පුංචි පැටව් ඉන්න ලෝකය මල්වලින් පිරුණු උද්‍යානයක් වගේ. දරුවෙක්ගේ ලෝකය හරිම පිවිතුරුයි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන් වරක් කියනවා “ළමයා යනු වැඩිහිටියාගේ කුඩා කරන ලද ආකෘතියක් නොවේ,” කියලා. වැඩිහිටියන් විදියට අපි පරිස්සම් වෙන්න ඕන ඔවුන්ගේ ලෝකයට වැඩිහිටි අපේ අදහස්, ආකල්ප ඇතුළු නොකර ළමා විය කියන සිතුවම එයාලට වර්ණ ගන්වගන්න ඉඩ දෙන්න. එයාලගේම ලෝකයක් තුළ හොඳ, නරක ගැන තේරුම් ගනිමින් ඉගෙන ගන්න දෙන එක තුළ අපිට පුළුවන් නිර්මාණශීලී දරුවෙක් බිහි වෙන්න ඉඩ දෙන්න. වැඩිහිටි අපිට පුළුවන් එයාලට මඟ පෙන්වන්න.

දරුවන් අව්‍යාජයි. ඔවුන්ගේ ඒ අව්‍යාජ බව නිසාමයි වැඩිහිටි අපි වුණත් රාජකාරි දහසක් මැද හිටියත් පුංචි දරුවෙක්ගේ හිනාව, කතාව ඉස්සරහ නිවෙන්නේ. වැඩිහිටියෝ විදියට දරුවන්ව ආරක්ෂා කර ගනිමින් ඔවුන් පසුපස සිටිය යුතුයි. සමහර වැඩිහිටියන් දරුවන් ප්‍රශ්න අහන අවස්ථාවල ඔවුන්ට ප්‍රශ්න කරන්න ඉඩ දෙන්නේ නැහැ. එයින් වෙන්නේ දරුවා තුළ වන නිර්මාණශීලී සිතීමේ හැකියාවන් විනාශ වෙන එක. ඒ නිසා ඔවුන්ගේ ලෝකය තුළ ඔවුන් ලෝකය දකින හැටි ගැන ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න. ඒ මොහොතේ ඔබත් දරුවා සමග ළමා ලෝකයට ඇතුළු වී ඔවුන්ට මඟ පෙන්වන්න. හෙට දිනයේ රටේ අනාගතය භාර ගන්න විශිෂ්ට දරුවෙකු නිර්මාණය කරන්න නම් ඔවුන්ට නිදහසේ ළමා ලෝකයේ මිහිර අත්විඳින්නට ඉඩ දිය යුතුයි.

බ්‍රැන්ඩික්ස් අපි දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන්, ව්‍යාපෘති නිර්මාණය කර තිබෙන්නෙත් ඒ මල් වගේ පුංචි දරුවන්ගේ අනාගතය ලස්සන කිරීම අපෙත් වගකීමක් නිසා. ප්‍රබෝධවත් දරු පරපුරක් කියන්නේ ප්‍රබෝධවත් අනාගතයක් කියන එක බව බ්‍රැන්ඩික්ස් අපි දන්නවා. මොකද අද දවසේ පුංචි පැළයක් වගේ හැදෙන දරුවන් තමයි හෙට දවසේ රූස්ස වෘක්ෂ විදියට වැඩිලා මේ සමාජයට සෙවණක් දෙන්නේ, ජීවයක් දෙන්නේ. දරුවන්ට ඔවුන්ගේම සිනහ පිරුණු ලොවක් තුළ වැඩෙන්නට සවිය දෙමු. ඔවුන්ට වඩාත් හොඳ අනාගතයක් සාදා දෙන්නට කැප වෙමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *