අධික ලෝබකම ඕනෑම පුද්ගලයෙක්ව විනාශය කරා රැගෙන යනවා. කෑමට ඇති අධික ලෝබකම නිසා විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී තමන්ගේම විනාශය කරා යන පුද්ගලයන් පවා අපිට සමාජයේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා. කපෝතක ජාතක කතාවෙන් කියවෙන්නේ කෑමට තිබෙන අධික ලෝබකම නිසා සිදු වුණ විනාශයක් ගැනයි.
ගෞතම බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටි කාලයේ කෑමට අධිකව ලෝබ වූ භික්ෂුවක් සිටියා. අසාමාන්‍ය ලෙස කෑමට ආශා කළ මේ භික්ෂුව ගැන අනෙක් භික්ෂූන් බුදුන් වහන්සේට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ අදාළ භික්ෂුව ද කැඳවූ බුදුන් වහන්සේ “පෙර ආත්මයකත් ඔබ මේ ආකාරයටම කෑමට අධිකව ලෝබ වීම නිසා මරණයට පවා පත් වුණා” යැයි වදාළා. එසේ වදාළමින් බුදුන් වහන්සේ පෙර ආත්මයේ සිදුවීමට අදාළ කපෝතක ජාතක කතාව වදාළා.
බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයේ බෝධිසත්ත්වයෝ පරෙවියෙකු ලෙස උපත ලබා තිබුණා. බරණැස් නුවර මිනිසුන් කුරුල්ලන්ට වාසය කිරීමට නිවෙස්වල කූඩු සාදා තැබීම සාමාන්‍ය සිරිතක්. ඒ නුවර සිටුවරයාගේ නිවසේ ආහාර පිසීමට සිටි අරක්කැමියාත් එහි කුස්සියේ කූඩුවක් තබා තිබූ අතර බෝසත් පරෙවියා ඒ කූඩුවේ වාසය කළා. එහි නිතර ඉතා රසවත් ආහාර පිසිනවා. දවසක් කපුටෙක් මේ කුස්සිය අසලින් පියඹා යන කොට කපුටාට දැනුණා මස් පිසින සුවඳක්. කපුටා කල්පනා කළා කොහොම හරි මේ හදන මස්වල රස බලන්න ඕන කියලා. මෙහෙම කල්පනා කරන කොට පරෙවියා තමන්ගේ කූඩුවට යනවා කපුටා දැක්කා. පරෙවියා කෑම සොයාගන්න ගිහින් එන වෙලාවකයි කපුටා පරෙවියාව දැක්කේ. සිටුවරයාගේ කුස්සියේ කූඩුවක ජීවත් වෙන පරෙවියා එක්ක යාළු වුණොත් මස් කන්න මාර්ගයක් හදාගන්න පුළුවන් කියලා හිතුව කපුටා ඊළඟ දවසේ පරෙවියා කෑම හොයාගෙන යන කොට පරෙවියා පස්සෙන් ගිහින් කතා කළා. පරෙවියා ගැන වර්ණනා කරමින් පරෙවියා මිත්‍රයෙක් විදියට ආශ්‍රය කරන්න කැමති බවත්, පරෙවියාට උදව් කරගෙන සිටීමට තමාට හැකි බවත් කපුටා පරෙවියාට පැවසුවා.
පසුව පරෙවියා සමගම ගොස් පරෙවියා කෑම සොයාගන්නා අතරතුර කපුටා තමාට ද කෑම සොයාගත්තා. සවස් වී පරෙවියා සිය කූඩුවට යන විට කපුටා ද ඒ සමගම සිටු නිවසේ කුස්සියෙහි වූ කූඩුවට ගියා. ඒක දැක්ක අරක්කැමියා කපුටාට වෙනම කූඩුවක් ද සාදා දුන්නා. මේ විදියට ටික දිනක් යනකම් කපුටා සිටු නිවසේ කුස්සියේ වාසය කළා.
දවසක් අරක්කැමියා මස් වර්ග කිහිපයක්ම සිටු නිවසේ ආහාර වෙනුවෙන් පිළියෙල කළා. ඒ මස්වලට ලෝබ සිතූ කපුටා එදා හිතාගත්තා “අද නම් කොහොම හරි මේ මස්වලින් ටිකක් කන්න ඕන. අද කීයටවත් එළියට නම් යන්නේ නෑ” කියලා. පරෙවියා කෑම හොයන්න යන්න කපුටාට කතා කළාම කපුටා කිව්වා තමන් අද අසනීපෙන් ඉන්නේ එළියට යන්න අමාරුයි කියලා. කපුටාට මස් කන්න ඕනවෙලා කරන කපටිකමක් කියලා හිතුණ පරෙවියා කිව්වා “මේ කෑමට ලෝබකම් කරන්න යන්න එපා. එළියට ගිහින් කෑම හොයාගමු” කියලා. ඒත් කපුටා කිව්වේ තමන්ට එළියට යන්න තරම් සනීපයක් නෑ කියලයි.
ඉන්පස්සේ පරෙවියා විතරක් එදා කෑම හොයන්න එළියට ගියා. මේ අතරේ අරක්කැමියාත් පේන්න නැති වෙලාවක කපුටා මස් කන්න හිතාගෙන පිසූ මස් තියෙන භාජනයක වැහුවා. එතකොටම ඒ අසල තිබුණ භාජනයක් පෙරළුණා. ඒ සද්දෙට අරක්කැමියා දුවගෙන ආවා. එතකොට ඔහු දැක්කා සිටුතුමාට හදපු මස් කන්න කාක්කා උත්සහ කරන බව. අරක්කැමියා කපුටාව අල්ලගෙන තටු ගලවලා දාලා කූඩුවට දැම්මා. කපුටා වේදනාවෙන් කූඩුවට වෙලා හිටියා.
හවස්වෙන කොට පරෙවියා ආවා. පරෙවියා දැක්කා කපුටාට වෙලා තියෙන දේ. පරෙවියා කපුටාට මතක් කරලා දුන්නා උදේ පරෙවියා කපුටාට දුන්න අවවාද. සිටුතුමාට හදලා තියෙන කෑමට ලෝබකම් නොකර එළියට ගිහින් කෑම හොයන්න යන්න කතා කළ බව පරෙවියා මතක් කළා. වේදනාවෙන් සිටි කපුටා ටික වෙලාවකින් මිය ගියා.
මේ ජාතක කතාව දේශනා කළ බුදුන් වහන්සේ කෑමට ලෝබකම් කරන භික්ෂුවට වදාළා මේ විදියට දුක්, වේදනා ගෙන දෙන ලෝබකමින් දැන්වත් මිදෙන්න කියලා. කතාව අහගෙන හිටිය ඒ භික්ෂුව අවසානයේ අනාගාමී වුණා. පෙර ආත්මයක කපුටා ලෙස උපත ලබා තිබුණේ මේ ආත්මයේ කෑමට අධික ලෝබකම් කළ භික්ෂුව බව බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂූන්ට වදාළා.