ඉවසිය හැකි ද තව?

තැළුම් පිට පිට පහර වැදුණම
නිල්වෙලා පිට මැද්දෙ කැළැලි
අගින් අල්ලන් ඇදන් යන කොට
ගැලවිලා ගියේ කොණ්ඩ කැරලි
රෑ පාන්දර අරින ඇස් දෙක
දහවලෙත් ටික ටිකෙන් මැලවී
අනේ වැනි වැනි ඉන්න උඹේ රුව
දකින කොට යයි හිතම වෙව්ලී

මැරීගෙන රස්සාව කෙරුවත්
සත පහක ඉතිරියක් මට නෑ
බලන් හිටියට හීන පොදියක්
පඩිදාට සතුටක් දැනුණෙ නෑ
දන්න දා හිට රහමෙරක් මිස
උඹේ ළඟින් සුවඳක් දැනුණේ නෑ
වට්ටි පුරවන් ගිය දෙවොල්වල
දෙවියන්ගේ බැල්මක් තිබුණේ නෑ

බැරිම තැන ඉවසලා ඉන්නට
උඹේ බේබදු රාජකාරී
පවක් නම් මට වෙන්නෙපාමයි
කියා මේ හිත යදියි පේවී
හයිය අරගෙන පහර දුන්නම
උඹට මං උඹේ වධකභාරී
“නොවී පෙනියන් යක්ඛ වේශෙන්
වෛරයේ මහ අම්මා කාලී”

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *