හිමිදිරියේ නැගිට දැක්කෝතින් හරිම අගේ
පෙම්බරයි සුකොමළයි ඇය නළඟනක් වගේ
පුන්සඳ පෑයුවා වාගෙයි මූණ ඇගේ
වෙන කවුරුන්ද ඒ සුන්දර බිරිඳ මගේ
ඇහිබැමි අඩකවය වාගේ සකස් කර
නා දලු වගේ තොල් පෙති දෙක යස රුවට
නළලේ තිලකේ ඒ ලස්සන දෙගුණ කර
මේ සුන්දරී බැඳ ගත්තේ රණ්ඩු කර
ඕපාදූප කේලාම් නෑ සොයන්නේ
අසරණයන්ට නිති සරණයි සලසන්නේ
පවුලේ දියුණුවටයි කටයුතු කරන්නේ
අනුන්ගේ වැරදි නෑ කිසි දින සොයන්නේ
නෙත් දෙක මැණික් වගේ දිලිසෙනවා
යන එන විටදි ළැම දෙපසම ගැස්සෙනවා
රන්වන් පාට වරලස පය තෙක් විහිදෙනවා
ඉටි රූපයක් දෝ සමහරු රැවටෙනවා
සමහර ගෑනු දොඩවනවා පල් හෑලී
නෑ කයිවාරු පුරසාරම් මගේ මාලී
නිතරම රකී ඇය පන්සිල් පද පේළී
පෙර පිනකටයි මට ලැබුණේ මනමාලී
මාලනී තෙන්නකෝන්
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය