මේ ලෝකයේ පවතින සියල්ල අනිත්‍යයි. ඒත් සමාජයේ බොහෝ දෙනා තමන් කැමති දේවල්වලට තණ්හාවෙන් බැඳිලා ඉන්නවා මිස අත්හරින්න කැමති නැහැ. මඛාදේව ජාතක කතාවෙන් අත්හැරීම ගැන හොඳ පාඩමක් අපට කියලා දෙනවා.
සැවැත් නුවර දම්සභා මණ්ඩපයට එක් වුණ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ ජීවිතයේ විමුක්තිය සොයා ගිහි ගෙය හැර යාම ගැන කතාබහ කරමින් සිටියා. සැප සම්පත් පිරුණු මාලිගයක ඉඳලා ඒ සියලු දේත්, තම බිරිඳ සහ කුඩා පුතුත් හැර දමා එන්න සාමාන්‍ය පුද්ගලයෙකුට අපහසු බවයි භික්ෂූන් වහන්සේලා කතා වුණේ. මෙතැනට වැඩම කළ බුදුන් වහන්සේ විමසා සිටියා භික්ෂූන් සාකච්ඡා කරමින් සිටියේ කුමක් ගැන ද කියා. එවිට කතාබස් කරමින් සිටි කරුණ පිළිබඳව භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේට දන්වා සිටියා.
“මම විමුක්තිය සොයා මින් පෙර ආත්මවලදී ද ගිහි ජීවිතය අත් හැර ගොස් තිබෙනවා,” බුදුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ පැවසුවා. ඒ බව ඇසූ භික්ෂූන් වහන්සේලා අතීත කතා දැන ගැනීමට කැමති බව ප්‍රකාශ කළ නිසා බුදුන් වහන්සේ මඛාදේව ජාතක කතාව වදාළා.
අතීතයේ විදේහ රාජ්‍යයේ මියුලු නුවර මඛාදේව නම් රජ කෙනෙක් දැහැමින් රාජ්‍ය කළා. අවුරුදු අසූ හාරදහසක් කුමරෙකු ලෙසත්, අවුරුදු අසූ හාරදහසක් යුව රජු ලෙසත්, අවුරුදු අසූ හාර දහසක් රජු ලෙසත් කල් ගෙවූ මඛාදේව රජු දවසක් තමන්ගේ හිසකෙස් කපන සේවකයාට කිව්වා “මගේ හිසෙහි සුදු පැහැ වුණ කෙස් ගසක් දුටුවොත් දැනුම් දෙන්න” කියලා.
කාලය ගෙවිලා ගියා. රජුගේ හිසකෙස් කපන සේවකයා දවසක් දැක්කා රජුගේ හිසේ කෙස් ගසක් සුදු පැහැ වෙලා තිබෙනවා. ඔහු මේ බව රජතුමාට කිව්වා.
“අගෙයි, ඒ කෙස් ගස ගලවා මට දෙන්න,” රජතුමා පැවසුවා.
සේවකයත් හරි පරිස්සමෙන් ඒ කෙස් ගස ගලවලා රජතුමාට දුන්නා. මඛාදේව රජුට තවත් අවුරුදු අසූ හාරදහසක් රජකම් කරන්න ආයුෂ ඒ වෙනකොටත් තිබුණා. ඒත් රජතුමා හිතුවේ හිසකෙස් සුදු වෙනකම් කෙලෙස් නැති කර ගන්න තමන් උත්සහ නොකළ එක ගැන. ජීවිතයේ අවසාන කාලය ගැනත්, ලෙඩ වීම, මරණය වගේ දේවල් ගැනත් රජතුමා ඒ කෙස් ගස දිහා බලාගෙන කල්පනා කළා. රජතුමා ඒ මොහොතේම තීරණය කළා ගිහි ගෙය හැර යන්න ඕන කියලා.
රජතුමාගේ කොණ්ඩය කපන තැනැත්තාට කහවණු විශාල ප්‍රමාණයක් සහ ගම්වරයක් ද තෑගි දෙන්න රජතුමා කටයුතු කළා. ඉන්පස්සෙ රජතුමා තමන්ගේ පුතාට කතා කරලා මෙහෙම කිව්වා.
“පුත, මගේ හිසෙහි කෙස් ගසක් සුදු පැහැ ගැන්විලා. මම දැන් මහලුයි. මරණයට ළං වෙනවා. මිනිස් ලොව සම්පත් මා විඳ තිබෙනවා. දිව්‍ය සැප සම්පත් විඳින්නට නම් මේ සියල්ල අත්හරින්න ඕන. ඒ නිසා මේ රාජ්‍ය ඔබ භාර ගන්න. මම අදම ගිහි ගෙයින් නික්මෙනවා. මඛාදේව අඹ වනයේ මම මහණදම් පුරන්නම්.”
ඇමතිවරු ඇතුළු මාලිගාවේ සියල්ලන්ටත් තමන් ගිහි ගෙය හැර දා යන්නේ ඇයි කියලා පැහැදිලි කළ රජතුමා සියල්ල අත්හැර මඛාදේව අඹ වනයට ගියා. මහණ දම් පුරමින් භාවනානුයෝගීව ජීවිතයේ ඉතිරි කාලය ගෙවූ මඛාදේව රජු මරණින් පසු බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුවා. ඉන්පසුව නැවතත් මිනිස් ආත්මයක් ලබා මියුලු නුවර උපන් ඔහු රජකම් කොට මේ ආකාරයෙන්ම ගිහි ගෙය හැර ගොස් මහණ දම් පිරූ බවත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයේම නැවතත් උපත ලද බවත් බුදුන් වහන්සේ මඛාදේව ජාතක කතාව වදාළමින් භික්ෂූන්ට වදාළා. සංසාරයේ බොහෝ අවස්ථාවල මේ ආකාරයෙන් ගිහි ගෙයින් නික්ම තමන් වහන්සේ විමුක්තිය සොයා ගිය බව වදාළ බුදුන් වහන්සේ නිර්වාණය කරා යාම සඳහා අත්හැරීමේ වටිනාකම පිළිබඳව භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කළා. චතුරාර්ය සත්‍යය පිළිබඳව ද ධර්ම දේශනාවක් බුදුන් වහන්සේ එම අවස්ථාවේ සිදු කළ අතර එය අසා සමහර භික්ෂූන් වහන්සේලා එම මොහොතේම මාර්ගඵල ලැබුවා.
අතීතයේ මඛාදේව රජු ලෙස උපත ලබා සිටියේ තමන් වහන්සේ බවත්, හිසකෙස් කපන සේවකයා ලෙස උපත ලබා සිටියේ ආනන්ද තෙරුන් වහන්සේ බවත්, රජුගේ පුතු ලෙස උපත ලබා සිටියේ රාහුල කුමරු බවත් බුදුන් වහන්සේ වදාළා.