හිරිහැර හා හිංසනවලින් තොර සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය

සාරධර්ම හතරකින් සමන්විත පිබිදුණු පුද්ගලයින් සේවය කරන බ්‍රැන්ඩික්ස් ආයතන සමූහය තුළ සාමාජික සාමාජිකාවන් සඳහා වඩාත් සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් සාරධර්ම පෙරදැරි කරගෙන මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබේ. සුවහසක් සාමාජික සාමාජිකාවන් අප හා අත්වැල් බැඳගෙන දීර්ඝ කාලයක් අප සමග සේවය කරමින් සිටී. එම සාමාජික, සාමාජිකාවන්ගේ සේවා පරිසරය වඩාත් සුරක්ෂිත කරමින්, මානසික පීඩනයකින් තොර සේවා පරිසරයක් නිර්මාණය කිරීමටත්, සාමාජික සාමාජිකාවන්ට ඉහළ ගරුත්වයකින් තම සේවය සැපයීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමත් මූලික කරගෙන බ්‍රැන්ඩික්ස් සමූහය ‘හිරිහැර හා හිංසනවලින් තොර සේවා ස්ථානයක් නිර්මාණය කිරීම’ නම් ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබේ.

හිරිහැර හා හිංසනවලින් තොර සේවා ස්ථානයක් යනු කුමක්ද?

බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ සේවය කරන සාමාජික සාමාජිකා ඔබ සියලු දෙනාටම හිරිහැර, හිංසන, ලිංගික හිංසන වැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් තොර ආරක්‍ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු කෙරේ. මෙහිදී අප සාමාජික, සාමාජිකාවන් මානසිකව, ශාරීරිකව පීඩනයට පත් කරන යම් හැසිරීමක්, සේවා ස්ථානයේ ඕනෑම පුද්ගලයෙකුගෙන් සිදු වන වෙනස්කොට සැලකීමක් හෝ අපහාස කිරීමක්, ආයතන වටපිටාවෙන් බැහැරව ඔන්ලයින් මාර්ගයෙන් සිදුවන ඕනෑම ආකාරයක හිංසනයක්, රැකියා ස්ථානයේ හෝ ඊට සම්බන්ධ ස්ථානයක සිදුවන වාචික හෝ ක්‍රියාවෙන් සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීම මගින් බ්‍රැන්ඩික්ස් ආයතන තුළ හිංසන හා හිරිහැර ශූන්‍ය කිරීම මෙහි මූලික අභිමාර්ථය වේ.

අන්‍යන්ට ගරු කිරීම පෙරදැරි කරගත් සාරධර්ම හතරකින් වෘත්තීය ජීවිතය ජයගැනීමට වෙර දරන සේවක පිරිසක් වන ඔබට ඉහත සඳහන් ආකාරයේ හිරිහැරයක්, හිංසනයක් හෝ ලිංගික හිංසනයක් සිදුවන්නේ නම් හෝ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් නම් එවැනි දේ සුළු කොට නොසලකා නොසිටින්න. ඒ පිළිබඳව සෑම කර්මාන්තශාලාවකම, සෑම පර්ෂදයකම පිහිටුවා ඇති අභ්‍යන්තර කමිටුවට පැමිණිලි කරන්න. ඒ තුළින් ඔබට අවශ්‍ය විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග අප සකස් කර තිබේ.

එසේම පුද්ගලයෙකු අත්දැකීමට අකමැති සිදුවීමක් හරහා තම සාමාජික සාමාජිකාවන් අපහසුතාවට, පීඩනයට පත්වීම වැළැක්වීමටත්, නිරතුරුවම තම සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය ගරුත්වය පිළිබඳවත් සිතන අප, අභිමානවත් බ්‍රැන්ඩික්ස් සාමාජිකයෙකු ලෙස ඔබට ඉදිරියට යාමට මෙම හිරිහැර හා හිංසනවලින් තොර සේවා ස්ථානයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබේ. මේ පිළිබඳව අපිත් දැනුවත් වී හිංසනයෙන් හා පීඩනයෙන් තොර සේවා ස්ථානයක් නිර්මාණය කිරීමේ වගකීමට දායක වෙමු.

 

දුලානි ෆොන්සේකා

මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

දුලානි ෆොන්සේකා

මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය