ස්නේහයේ නොසන්සිඳෙන උල්පත වූ අම්මා

ලෝකය ජීවය ලබන්නේ හිරු එළිය සහ මවකගේ රුධිරයෙන්. ඇත්තෙන්ම ජීවියෙක් මෙළොවට බිහි කිරීමටත් ඔහුව උස්මහත් කිරීමටත් මවක් දරන වෙහෙස කැපකිරීම අප්‍රමාණයි. ඒ වෙහෙස කැපකිරීම ලොව අන් කිසිවෙකුටත් කළ නොහැකියි වගේම වෙන කිසිවෙක් කරන්නේ ද නැත. දස මසක් කුස දරා ලොවට බිහිවන බිළිඳා රක්ත වූ රුධිරය කිරට හරවා පෝෂණය කරන මව සිය මුලු ජීවිතයම තම දරුවා වෙනුවෙන් කැප කරනවා. මේ සියලු කැපකිරීම් කරන්නේ උතුම් වූ මාතෘත්වයේ නාමයෙන්. ඒ මාතෘත්වය වෙනුවෙන් සුවිශේෂී දිනයක් වෙන්කර ඒ කැපකිරීමට වටිනාකමක් වර්තමානයේ දී ලබා දී තියෙනවා. මේ මව්වරුන්ගේ දිනය සමරන්න මුලින්ම අවධානය යොමු වෙලා තියෙන්නේ ඇනා ජාවිස් නැමති කාන්තාවයි. ඇගේ මවටත් ලෝකයේ සියලු මව්වරුන්ටත් උපහාර පිණිස දිනයක් වෙන් කරගැනීමට ඇය ඇප කැප වෙලා කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියට 1914 වසරේ ඉදලා සෑම වසරකම මැයි මාසයේ දෙවැනි ඉරිදා දිනය මව්වරුන් සැමරීමට වෙන් කරල තිබෙනවා.

ජේසුස් වහන්සේගේ මව වන මරිය මව්තුමිය පවා කතෝලික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන්නේත් ඒ උතුම් මාතෘත්වය නිසාමයි. ඒ විතරක්ම නෙවෙයි විවිධ පිළිරූ, චිත්‍ර, මූර්ති, කැටයම්, කවි ගී, පොත් වැනි හැම කලාවකටම මේ මාතෘත්වය උපයෝගී කරගෙන තියෙනවා. නන්දා මාලනිය මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා බව ගැයුවේත්, මැක්සිම් ගෝර්කි නම් මහා සාහිත්‍යකරුවා අම්මා නවකතාව ලිවුවේත්, ජපානයේ මව්වරුන්ගේ කෞතුකාගාරය නිමවුණේත් මේ මව්වරුන්ගේ උතුම් මාතෘ ගුණයට උපහාර ලෙසින් නොවේද?

ඉතින් දරුවෙක් බිහි කිරීමේ පටන් අප්‍රමාණව දුක් විඳි අම්මා, දරුවන් උස් මහත් වන තෙක්ම ඒ දුක විඳින්නේ ඉමහත් සතුටින්. ලෝකයට වටිනා උගතුන් වියතුන් බිහිකල, කීර්තිමත් රජවරුන් බිහිකල සියලු අම්මාවරුන්ට උපහාරයක්ම වේවා! මව්වරුන්ගේ දිනය යෙදී ඇති අද දිනයේ ලෝ වැසි සියලු මව්වරුන්ට දීර්ෂායුෂ ලැබේවා’යි ඉත සිතින් සුබ පතමු…