යාළුවෝ හතර දෙනාගේ කතාව

ඕනෙම කෙනෙක්ගෙ ජීවිතයේ එක හැරවුම් ලක්ෂ්‍යයක් තමයි රැකියාව කියන්නේ. මොන තරාතිරමක හිටියත් තමන්ට ගැළපෙන රැකියාවක් කරන්න හැමෝටම පුළුවන්. වැටුප කීය වුණත්, නිවාඩු කොහොම වුණත්, රැකියාවට බෙහෙවින්ම කැපවෙච්ච මිනිස්සු මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. රැකියාව කරන ආයතනයෙන් සේවකයා කෙරෙහි කොයි තරම් වටිනාකමක් දෙනවා ද ඒ වැනිම වටිනාකමක් සේවකයා ද ආයතනය කෙරෙහි ලබා දිය යුතුය යන්නයි මගේ අදහස. මේ කතාව බ්‍රැන්ඩික්ස් මීරිගම 01 මගේ ආයතනය ගැන මගේ අදහස.

රැකියාවන් කිහිපයක්ම කරපු මම අහම්බෙන් වගේ ආයතනයට බැඳුණේ ස්ථීර හීන ගොඩක් හිතේ තියාගෙන. ඒක අපි හැමෝටම පොදු කාරණාවක්නෙ. ඒ වගේම ආයතනයට කිසිම සම්බන්ධයක් නැති මිතුරෙකුගේ පණිවුඩයක් මාර්ගයෙන් ආයතනය හොයාගෙන තනිවම සම්මුඛ පරීක්ෂණයට පැමිණි මගේ ඉදිරියට මුලින්ම ආවෙ හිනා කටක් පුරෝගත්ත බුද්ධිකා මිස්. හිතාගෙන ආවෙ පැකින් හෝ චෙකින් අංශයට පමණක් බැඳෙනවා කියලා.

“අනේ පුතේ, මැෂින් ඔපරේටර් විතරයි මේ දවස්වල ගන්නෙ” කියලා හිනාවෙලා ආදරණීයව කියන කොට මහන මැෂින් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති මං එදා,

“කමක් නෑ මිස්” කියලා ට්‍රේනින් ස්කූල් එකට යන්න කැමති වුණේ කොහොමද කියලා තාමත් මට හිතා ගන්න බෑ.

කොහොමින් කොහොම හරි ට්‍රේනින් ස්කූල් එකෙන් ලයින් එකට ඇවිත් අවුරුද්දයි මාසයක් යද්දි මට ආයෙත් කොළඹ තැනකින් වෙන ජොබ් එකක් ලැබුණා. උපාධි නොගත්තත් මං ආස කළා හැමදාම කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳන් රස්සාවක් කරන්න. ඉතින් ඒ නිසා බ්‍රැන්ඩික්ස් එකෙන් අයින් වුණා දෙපාරක් නොහිතා. ඒ මොහොතේ කරපු රැකියාවේ පීඩනයත් එක්ක වැඩි කල් නොගිහින් මාස තුනක් ඇතුළත වගේ බ්‍රැන්ඩික්ස් එකේ මූණු ටිකයි, ඒ හිනාවල් ටිකයි, ආදරණීය කතා, යාළුකම්, බ්‍රැන්ඩික්ස් එකේ සැහැල්ලුවෙන් හිටපු හැටි මැවි මැවී පේන්න ගත්තා. ලැජ්ජාව බල්ලට දාලා මං ආයෙත් මගේ ආයතනයට ආවා. ඒ මූණු ටිකත් එක්ක රැකියාව කරන එක දැන් පිස්සුවක් වගේ. මං අදටත් ඒ හැඟීමට ආසයි.

ඊටපස්සෙ ඔන්න හිටි හැටියෙම ආවා “සාරධර්ම” කියලා සාමාජිකයො 4ක් ඉන්න පවුලක්. ඇත්තටම අපි අපේ සිතුවිලි එයාලා එක්ක ගැටෙන්න ඉඩ ඇරියා. ළඟ ඉන්න යාළුවා එක්ක මොන තරහක් තිබ්බත් එතනට “ගරුත්වය” කියන යාළුවා ඇවිත් කීවා “තරහා වෙලා ඉන්න එපා” කියලා. අපි පහුවදාට ඒ හැමදේම අමතක කරලා හිනා වෙනවා.

දවසක් වොෂ්රූම් එකට ගිහින් එනකොට ටැප් එකක් කවුදෝ බාගෙට වහලා තියලා. ඉතිං ඒකෙන් හොඳටම වතුර අපතේ යනවා. “අවංකකම” කියන යාළුවා රහසින් වගේ ඇවිත් කීවා “එයා බාගෙට වැහුවට කමක් නෑ, පුළුවන් නම් ඔයා ටැප් එක වහලා යන්න” කියලා. දන්නව ද මං එදා ඉඳන් වතුර අපතේ යන හැම ටැප් එකක්ම වහනවා. කැඩිලා නම් HR එක දැනුවත් කරනවා. පහුවදා ඒ ටැප් එක හදලා තිබ්බම ලොකු සතුටක් දැනෙනවා.

තව දෙයක්…

අපේ කැන්ටිමේ නිතරම දකින දෙයක් තමයි “කෑම අපතේ යවන්න එපා කියන දේ” ඒකට නම් මාත් එකඟයි. අපට බෑ මුළු ලෝකෙටම කෑම ඉතුරු කරන්න. ඒත් අපට පුළුවන් හැකි පමණට බෙදාගන්න. අවංකවම කිසිම දවසක මහ ගොඩක් බෙදාගෙන ටිකක් විසිකරන පුරුද්දක් නෑ. චුට්ටක් බෙදාගනිද්දි ගොඩක් අය කීවෙ “ඇඟේ හැටියට ඔය ඇති ද” කියලා. ඔක්කොම කාලා පිඟාන විතරක් තියන්න යනකොට කීවෙ “අපරාදෙ පිඟානත් කන්න තිබ්බෙ” කියලා. ඉතින් මට කියන්න තියෙන්නෙ ඔයාලට වඩා මං ඉස්සරහින් ඉන්නවා කියලා. කෑම හිඟයක් ආවොත් ඔයාලට පිඟාන විතරක් කන්න වෙන කාලයක් එන්න කලියෙන් අවංකවම අපි කන කෑමට ගරු කරලා පුළුවන් තරමට බෙදාගන්න. ඉතිරි වුණ කෑම දාන භාජනය හිස් වෙලා තියෙනවා දකින්න ආස කරන්න. ඇත්තටම ඒක ලොකු සතුටක්.

තත්පරේට වැඩ කරන අපිට එකිනෙකාගෙ උදව් අනිවාර්යයෙන් ඕනෙ. ඒක තව කෙනෙක් කියනකම් බලන් ඉන්න නරකයි. ඒකයි අපි හැමෝම කණ්ඩායමක් විදියට ඉන්නෙ. දුකේදි සැපේදි ඉන්නවා වගේම රැකියාවේදි ඒ සහයෝගයම එකිනෙකාට අවශ්‍යයි. සුපවයිසර්, ලීඩර් ටීම් එකට සපෝර්ට් කරනවා වගේම ටීම් එකත් එයාලට සපෝර්ට් කරන්න ඕනෙ. දවසක් සුපවයිසර් වැඩට ආපු නැති දවසක “කණ්ඩායම් හැඟීම” කියන යාළුවා ඇවිත් කීවා, “අද නම් අනිවාර්යෙන් ටාගට් එක දාලා ඉන්සෙන්ටිව් එක ගමු” කියලා. එයා එහෙම කියද්දි අපි කොහොමද අහක බලන්නෙ නේද? හැමදාම හැමෝම එකට ඉමු. ඒ හැම දවසක්ම දිනන්න පුළුවන් වේවි.

ඔන්න අන්තිමට “විශිෂ්ටත්වය” කියන යාළුවා ඇවිත් කීවා අර තුන් දෙනාගෙ උදව්ව නිසා අපි දිනුවා කියලා. අපි හැමෝම එකිනෙකාට ගරු කරලා අවංකව කණ්ඩායමක් විදියට ඉඳලා විශිෂ්ට ජයක් ලැබුවා කියලා. අපි හැමෝම එදා සතුටින් අත්පොළසන් නැඟුවා.

ඔව්, සාරධර්ම කියන්නෙ වචන හතරක් නෙවේ. කල්‍යාණ මිත්‍රයො හතර දෙනෙක් ඉන්න පවුලක්. එයාලගෙන් යහපතක් මිස අහයපතක් නම් සිදු නොවේවි කවදාවත්. කවදාහරි බ්‍රැන්ඩික්ස් පියසෙන් යන්න වුණ දාක අපි අපේ ජීවිතවලට අරක් ගත්ත සාරධර්ම යාළුවො හතරදෙනාවත් අරගෙනම යමු. එතනයි සාරධර්මවලට සාධාරණයක් ලැබෙන්නෙ. සාරධර්ම තුළින් පිබිදුණු මිනිසුන් තනන්නට නිරන්තර කැපවෙන බ්‍රැන්ඩික්ස්, ඔබට මාගේ උත්තමාචාරය පුද කරන්නෙ හදවතින්මයි. ආදරෙයි බ්‍රැන්ඩික්ස්…

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook