මා කුඩා කල සිටම හිතුවක්කාර කොලු ගැටයෙකි. මගේ පියා ද ඊට නොදෙවෙනි අතර එතරම් රෞද්‍ර පුද්ගලයෙකු මට මගේ ජීවිතයට හමු වී නැත. පිරිමි දරුවන් තිදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ මට, මාගේ පියාගෙන් කිසිදු විටෙක පුංචි වරදකටවත් සමාවක් ලැබුණේ නැත. කුඩා කල සිටම මා රැකියාව වශයෙන් තෝරා ගෙන තිබුණේ යුද්ධ හමුදාවයි. නමුත් මටත්, මගේ බාල සහෝදරයින් දෙදෙනාටත් ආරක්ෂක අංශයේ රැකියා තෝරා ගැනීම තහනම් වී තිබුණි.
එයට හේතුව උනේ තාත්තාගේ දෙවෙනි සහෝදරයා ඒ වන විටත් යුද්ධය නිසා තාත්තාට අහිමි වී තිබූ නිසයි. ඔහුගේ අසිපත, නිල ඇඳුම් හෝ වෙනත් දෑ කිසිදු විටෙක අපට ඇල්ලීමටවත් අවසර ලැබුණේ නැත. ඒවා පිරිසුදු කරන්නේ තාත්තා විසින් පමණි. දිනක් මා බාප්පාගේ අසිපත රැගෙන සරඹ කරනවා දුටු මගේ තාත්තා කොස්සක් කැඩෙන තුරු මා හට සරඹ ඉගැන්වීය. සරඹය අවසන් වූයේ අම්මා අපවත් රැගෙන අම්මලාගේ ගෙදර යාමෙනි. මට තාත්තා සමග ඇත්තේ එවැනි රළු මතකයන් ය.
තාත්තාගේ පවුලේ සිටියේ තාත්තාගේ අම්මාත්, තාත්තා සහ බාප්පලා දෙදෙනා පමණි. මගේ තාත්තාට ඔවුන්ගෙන් තොර ලොවක් තීබී නැත. ඔවුන්ට උගන්වනු පිරිස මගේ තාත්තා 10 ශ්‍රේණියෙන් ඔහුගේ පාසල් ගමන නිමා කර තිබුණි. මාගේ තාත්තා සිනහ වී කතා කරනු මා දැක ඇත්තේ හමුදාවේ බාප්පා සමග පමණකි.
මගේ හිතුවක්කාරකමටම මා පාසලේ ශිෂ්‍ය භට කණ්ඩයට එක්වුණු අතර වසර හතරක ශිෂ්‍ය භට ජීවිතයේ මගේ කිසිදු ජයග්‍රහණයක් සැමරීමට මගේ තාත්තා පැමිණියේ නැත. මේ හේතු නිසා මම තාත්තාගෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී තිබුණි. මාගේ කිසිදු අවශ්‍යතාවයක් මා තාත්තා සමග පවසා නැත. මා සෑම දේම පවසන්නේ අම්මාටය.
උසස් පෙළින් පසු මා ගුවන් හමුදාවටත්, නාවික හමුදාවටත් අයදුම් කළ අතර මගේ තාත්තා විසින් එම කැඳවීමේ ලිපි සඟවා තිබුණි. මා එය දැනගත් පසු තාත්තා සමග උරණව කිරිඅම්මලාගේ ගෙදර ගොස් නැවතුණු අතර ඉන්පසු මා නැවැත්වීමට මගේ තාත්තාට නොහැකි විය. මා කැඩෙටි නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට බැඳුණු අතර මා යුද්ධ හමුදාවට බැඳෙන දිනයේ මගේ තාත්තා මට පැවසුවේ “තාම මේ තීරණය වෙනස් කරන්න පුළුවන්.” යන වචන පමණි. මේ වන විට මට මගේ තාත්තා ගැන තිබූ කලකිරීම කියාගනු බැරි තරම් විය.
තාත්තාගේ මිලිටරි පාලනය යටතේ ජීවත් වූ මට හමුදාවේ ජීවත් වීම අපහසු නොවීය. මා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිටි වසර තුනක කාලය තුළ සෑම ඉරිදාවකම මගේ අම්මා මා බැලීමට තාත්තා සමග පැමිණි අතර තාත්තා මා සමග වචනයක්වත් කතා නොකළේය. ඒ සෑම දිනකම මා බැලීමට අම්මා පැමිණ තිබුණේ තාත්තාගේ උවමනාවට වී ඇති අතර මා ඒ පිළිබඳව දැන ගත්තේ මෑතක දීය.
වසර තුනක පුහුණුවෙන් පසු මා අධිකාරිය ලබන දින මා හට අධිකාරිය පැළඳවීමට මා ඉදිරියේ සිට ගත්තේ මගේ තාත්තා ය. මා එය කිසිදු අයුරකින් බලාපොරොත්තු නොවූ අතර අධිකාරිය පැළඳවීමෙන් අනතුරුව තාත්තා මා වැළඳගෙන හඬමින් “පුතේ මේ මගේ අතින් සරසලා රටට බාර දෙන දෙවෙනි කොල්ලා, ඔයා පොඩි කාලේ ඉඳන් මං ගොඩක් බයෙන් හිටියේ මේ දවස එයි කියලා, කමක් නෑ, දැං ඔයා මේක තෝරගත්තානේ.” යැයි පැවසීය. එදින තාත්තා මට තවත් තෑග්ගක් රැගෙන විත් තිබුණි. ඒ තාත්තා දිනක් මට සරඹ කරනු දැක කොස්සක් කැඩෙන තුරු පහර දුන් අසිපතය. “ලොකු පුතා, දැං තමුන් මේකෙන් සරඹ කරන්න සුදුසු කෙනෙක්. ඔයාගේ අම්මා ඔයාට ගොඩක් ආදරෙයි, ඒ නිසා වැඩ කරද්දී අම්මා ගැන හිතලා වැඩ කරන්න.”යැයි පැවසුවේ මට දහසකුත් පාඩම් කියාදෙමින් ය.
මාසයකට පසුව මා විශේෂ බලකා පුහුණු පාසලේ දී අනතුරකට ලක්ව සුෂුම්නාවට දැඩි හානි සිදුවිය. මගේ තාත්තා මා කුඩා කල සිටම මා වැළැක්වූයේ ඇයිද යන්න මට වැටහුණේ එම කාලයේ ය. තාත්තලාගේ ආදරය දරුවන්ට පෙනෙන්නේ බොහෝ දෑ අපට අහිමි වූ පසුය.
සමිත
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය