අනාගතයට පාර කියන බ්‍රැන්ඩික්ස්

‘තිබූ තැනක සොර සතුරන් ගත නොගෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’

ඔයාලා හැමෝම අහලා තියෙන මේ කවියම ඇති අධ්‍යාපනයේ වටිනාකම කොච්චර ද කියන එක තේරුම් ගන්න. අද ජාත්‍යන්තර අධ්‍යාපන දිනය. සෑම වසරකම ජනවාරි 24 වන දා සමරන ජාත්‍යන්තර අධ්‍යාපන දිනය බ්‍රැන්ඩික්ස් අපිටත් ගොඩක් වැදගත්. 2006 අවුරුද්දේ පටන් ගත්ත මනුසත්කාර වැඩසටහනේම එක් අංශයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. 2010 අවුරුද්දේ පටන් ගත්ත මනුසත්කාර ශිෂ්‍යත්ව වැඩසටනෙන් පස්සේ අධ්‍යාපනයට දිරි දෙන ව්‍යාපෘති කීපයක්ම අපි ක්‍රියාත්මක කළා.

2010 අවුරුද්දේ අපි අලුත්ම පාරක් හැදුවා අපේම පුංචි දරු පැටව් වෙනුවෙන්. මනුසත්කාර ශිෂ්‍යත්ව වැඩසටහන නම් ඒ පාර ඔස්සේ මේ වෙනකොට බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් 700කට අධික පිරිසකට ප්‍රතිලාභ ලැබිලා තිබෙනවා. 2012 අවුරුද්දේ පටන් ගත්ත P.A.C.E. වැඩසටහන ඔස්සේ ප්‍රතිලාභ ලැබූ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් ගණන 4,000කට අධිකයි. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ පෞරුෂ හා නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම තුළින් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් උදා කර දීමේ අරමුණෙන්.

ඉන්පස්සේ අපි 2016දී තවත් අලුත් පාරක් නිර්මාණය කළා මනුසත්කාර තිළිණ නමින්. බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ පෙර පාසලේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට අවශ්‍ය පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ ලබා දීම තමයි මේ වැඩසටහනේදි වෙන්නේ. අවුරුද්දකට පාසල් උපකරණ කට්ටල 8,500කට අධික ප්‍රමාණයක් ලබා දෙන්න බ්‍රැන්ඩික්ස් අපි කටයුතු කරනවා. මේ වෙනකොට 37,000කට අධික සිසුන් පිරිසක් මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා තිබෙනවා. ඒ වගේම මෙවර මනුසත්කාර තිළිණ වැඩසටහන යටතේ මේ වන විට තවත් සිසුන් 16,000කට පමණ පාසල් උපකරණ අපි ලබා දුන්නා.

ලංකාවේ ක්‍රියාත්මක P.A.C.E. වගේම මනුසත්කාර තිළිණ යන වැඩසටහන්වලට සමගාමීව ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ද එම වැඩසටහන් ක්‍රියාත්මකයි. 2012 සිට 2022 අවුරුද්ද දක්වා ඉන්දියාවේ ක්‍රියාත්මක මනුසත්කාර තිළිණ වැඩසටහන ඔස්සේ 24,000කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

2018දී අපි ශිල්ප වැඩසටහන පටන් ගත්තා. විවිධ දුෂ්කරතා නිසා අධ්‍යාපනය අතරමඟ නවතා දැමූ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ට අධ්‍යාපන කටයුතු නැවත සිදු කරන්නත් ඒ තුළින් වෘත්තීය සුදුසුකම් සපුරාගෙන උපාධියක් කරා යාමටත් ඔවුන්ට ශිල්ප වැඩසටහන උදව් වෙනවා. මේ වැඩසටහනෙන් 180 දෙනෙකුට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිව තිබෙනවා. ඒ වගේම මේ වන විට තවත් අයැදුම්කරුවන් 390 දෙනෙකු මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මේ පාරෙන් ගොස් ජීවිතය දිනන්නට අපේම සාමාජික සාමාජිකාවන්ට අපි අත්වැලක් වන්නේ ඒ ආකාරයටයි.

2021දී ලෝකය දිනන්න සරසවි වරම් ලබන සිසු සිසුවියන්ට පාර පෙන්නන මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන අපි පටන් ගත්තා. අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පවත්වන මේ වැඩසටහනෙන් අපි කරන්නේ බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට අයත් පාසල්වල උසස් පෙළ සමත්ව සරසවි වරම් ලබන දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම. 2022 අවුරුද්දේදි දිස්ත්‍රික්ක 8කින් තෝරාගත් දරු දැරියන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්න අපිට හැකි වුණා.

අපේ රටේ අනාගතය භාර ගන්නට සිටින දරුවන්ට අධ්‍යාපනයේ සීමා මායිම් අබිබවා අනාගතය ජයගන්නට පාර කියන තරු ලකුණ වෙන්නට බ්‍රැන්ඩික්ස් අපි ඉදිරියටත් කටයුතු කරනවා…